03/08/2023
ප්‍රේත වස්තු කථා - 14
කර්ණමුණ්ඩ ප්‍රේතවස්තු වර්ණනාව
“සොවණ්ණ සොපාන ඵලිකා” - යන මේ ප්‍රේතවත්‍ථු කථාව ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි කණ්ණ මුණ්ඩ ප්‍රේතියක (කන් සිදුනු) අරභයා වදාළ සේක. දුරාතීතයේ කාශ්‍යප බුදුන් දවස කිම්බිල නම් නුවර, එක්තරා සෝවාන් වූ උපාසකයෙක්, තවත් උපාසකවරුන් පස් දෙනෙකු සමග සමාන අදහස් ඇතිව භික්ෂූන් වසන තැන්, මල් වතු, ඒ දඬු දැමීම, සක්මන්මළු තැනීම ආදී පුණ්‍ය කර්මයන්හි නියැලී වසන්නේ. සංඝයාට විහාරයක් කරවා ඒ උපාසකයන් ද සමග කලින් කල විහාරයට යයි. ඔවුන්ගේ භාර්යාවෝ ද උවැසියන් වී ඔවුනොවුන් සමග තෙල් මල් පහන් සුවඳ ආදිය ගෙන කලින්කලට විහාරයට ගන්නා හු අතරමග ආරාම විශ්‍රාම ශාලාවන්හි නැවතී විහාරයට යති.
ඉක්බිති එක්දවසක් ධූර්තයෝ කිහිප දෙනෙක් ඈගේ රූප සම්පත්තිය දැක පිළිබඳ සිත් ඇතිව, ඔවුන්ගේ ශීලාචාර ගුණසම්පන්න බව ද දැන, මේ එකියක් සමග හාද වී එකියකගේ සීල භේදය කරන්නට සමර්ථ කෙනෙක් ඇත්තේදැයි කථාවක් ඉපිද වූහ. එහිදී ඔවුනතුරෙන් එක් අයෙක් මම සමර්ථයෙමියි කීය. පුදුමයකි ඔබට එසේ කළ හැකි නම් අපි මසුරන් දහසක් දෙන්නෙමු යයි අනෙක් අය කීහ. පුදුම නොවෙනු මම එය කරමියි දහසක් ඔට්ටු තැබීය. නොකළහොත් තොප අපට දහසක් දිය යුතුයයි (ඔට්ටුව විය) හෙතෙම ලෝභයෙහි බැඳුණු බයෙන් ද නොයෙක් උපායෙන් ගායනා කරන්නේ ඒ උපාසිකාවන් ශාලාවට ආ කල්හි, මිහිරි හඬින් වීණා වාදනය කරමින්, මිහිරි ස්වරයෙන් පඤ්චකාම ගීත ගයමින්, ඒ ස්ත්‍රීන් අතුරෙන් එක් ස්ත්‍රියක් ගී හඬින් පොළඹවා, ඇය ශීලභේදයට පමුණුවා, ඈ සමග අසද්ධර්මයෙහි යෙදී, ඒ ධූර්තයන් දහසකින් පරාජය කරන ලදී. (මසුරන් දහස දිනා ගන්නා ලදී) ඔහු විසින් දහසකින් පරදන ලද අනෙක් ධූර්තයෝ මේ කාරණය ඒ ස්ත්‍රියගේ ස්වාමී පුරුෂයාට කීහ. ඔහු එය නො අදහන්නේ ඇගෙන් විමසීය. කිමෙක් ද මෙබඳු දෙයක් අසවල් පුරුෂයෝ කියති. එබඳු දෙයක් සිදුවූ දැයි ඒ පුරුෂයා ස්ත්‍රියගෙන් විචාළේය. ඇය මම එවැනි දෙයක් නො දනිමි, නො කෙළෙමියි ප්‍රතික්‍ෂේප කොට, ඔහු එය නො අදන්නේ, ළග සිටි බල්ලෙකු පෙන්වා දිව්රීමක් කළාය. ඉදින් යම් විධියකින් මා එවැනි පාපකර්මයක් කළේ නම් මේ කන් කොට කළු බල්ලා ඒ ඒ භවයන්හි ඉපදුණු මා කා දමාවායි කියා බොරු දිවිරීමක් කළාය. අනෙක් පන්සියයක් ස්ත්‍රීහු ද ඒ ස්ත්‍රීයගේ අනාචාර හැසිරීම දන්නෝම, (ඇගේ ස්වාමි පුරුෂයා අනාචාරී ස්ත්‍රිය පිළිබදව ඔවුන්ගෙන්) කිම මෝ තොමෝ එවැනි පාප ක්‍රියාවක් කළෝ ද නො කොළෝදැයි ඇසූ කල්හි, අපි එවැන්නක් නො දනිමුයි බොරු කියා, ඉදින් අපි එසේ දන්නෙමු නම් සසර භවයක් භවයක් පාසා ඇගේම මෙහෙකාරියෝ වෙත්වායි දිවිරීමක් කළහ.
ඉක්බිති ඒ වරදෙහි බැඳුණු ගැහැණිය ඒ නිසාම විපිළිසරව, දවුණු හදින් යුතුව වියලී වැඩි කල් නොගොස්ම කළුරියකොට, හිමවත් පර්වතරාජයා සමීපයෙහි වූ සත්වැදෑරුම් මහවිල් අතුරෙන් එක්තරා කර්ණ මුණ්ඩ නම් විල්තෙර විමාන ප්‍රේතියක්ව උපන්නීය. ඇගේ විමන අසල කර්ම විපාක අනුසාවියට සුදුසු වූ එක් විලක් ද පහළ විය. සෙසු පන්සියයක් ස්ත්‍රීහු කළුරිය කොට දිවිරීම් වශයෙන් ඇගේම දාසියන් වී උපන්නාහුය. ඈ පෙර කරන ලද කුශල කර්මයන්ගේ විපාකයෙන් දවල් කාලයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට රාත්‍රි කාලයෙහි පාප කර්ම බලයෙන් චෝදනා කරන ලදුව යහනින් නැගිට පොකුණු තෙරට යයි. එතැනට ගිය ඒ ස්ත්‍රිය භයානක රූප ඇති සිඳුණු කන් ඇති තියුණු වූ දැඩි වු දත් ඇති දිලිසෙන කිහිරි අඟුරු මෙන් ඇස් ඇති නිතර පවත්නා වූ විදුලියක් හා සමාන දිව ඇති, තියුණු නියපොතු ඇති, රළු දික් දුර්වර්ණ ලෝම ඇති, ඇත් පැටවකු පමණ වූ කළු බල්ලෙක් ඒ පොකුණෙන් නික්ම අවුත් ඉතා බඩසයින් පෙළුණකු මෙන් බලහත්කාරයෙන් බිම හෙලා මස් කා ඇට සැකිල්ල පමණක් ඉතිරි කොට දත්වලින් ඇදගෙන ඇවිත් පොකුණෙහි දමා අතුරුදන් වෙයි. ඕ තොමෝ ද ඒ පොකුණෙහි බහාලු කෙනෙහි යළි ප්‍රකෘති රූපයෙන් විමනට පැමිණ යහනෙහි නිදන්නීය. අනෙක් ස්ත්‍රීහු ඇයට දාසියන් වී විවිධ දුක් විදිති. මෙසේ වසන්නා වූ ඔවුන්ට අවුරුදු පන්සිය පනහක් ගෙවිණි.
එසේ පුරුෂයන්ගෙන් වෙන්ව දිව සැප විඳින්නා වූ ඔව්හු කළකිරීමට, උකටලී බවට පත්වූහ. කර්ණ මුණ්ඩ විලෙන් ආරම්භව පර්වත සිදුරකින් නික්මී ගඞ්ගානම් ගඟට වැටෙන එක් ගඟක් ඇත. එසේම ඔවුන් වසන තැනට කිට්ටුව දිව්‍යමය ඵල ඇති අඹ දෙල් කොස් ආදී ගස්වලින් යුත් උයනක් හා සමාන කෑලෑ ප්‍රදේශයක් ද ඇත. ඒ ස්ත්‍රීහු මෙසේ සිතූහ. අපි මේ ඉදුණු අඹ ඵල ගෙන මේ ගඟට දමමු පාවී යන මේ අඹ ගෙඩි දැක, අඹ ලෝභයෙන් කිසියම් පුරුෂයෙක් මෙහි පැමිනියේ නම් අපි ඔහු සමග කම්සුව විදින්නෙමුයි කියා ඒ ස්ත්‍රීහු එසේ කළහ. ඔවුන් විසින් එසේ දමන ලද අඹ ගෙඩි වතුර පාරට ගසාගෙන ගිය අඹ සමහරක් තාපසයන්ට ලැබිණ. සමහරක් වැද්දන් අතට පත්විය. සමහරක් කවුඩෝ රැගෙන ගියහ. සමහරක් ජලයේ රුදුණහ. එක අඹ ගෙඩියක් ජලපහරට හසු වී බරණැසට ගියේය.
බරණැස් රජු ලෝහ දැලකින් වට කරන ලද ගංගා ජලයට බැස දියනාන්නේ ගඟේ දියපරට ගසාගෙන ආ අඹ ගෙඩිය ලෝහ දැලේ රැදුණි. වර්ණ ගන්ධ රසයෙන් යුත් වූ ඒ අඹගෙඩිය රාජපුරුෂයෝ රජුට දුන්හ. රජු ඒ අඹ ගෙඩියෙන් එක් කෑල්ලක් ගෙන විමසීම පිණිස සිරගෙයි දඬුවම් විඳින එක් සොරෙකුට දුන්නේය. ඔහු එය කා, දේවයිනි! මා විසින් මේ හා සමාන අඹ මීට පෙර කා නැත. මේ දිව්‍යමය අඹ යයි මම සිතමියි කීය. රජු නැවත ද ඔහුට තව අඹ කෑල්ලක් දුන්නේය. හේ එය කා ශරීරයේ තිබු ඇඟ රැළි නැති වී, පැසුණු හිසකෙස් නැති වී අතිශය මනහර රූපයෙන් යුත් තරුණයෙක් මෙන් වූයේය. රජු එය දැක පුදුමයට පත්ව ඒ අඹ ගෙඩිය කා ශරිරයෙහි විශේෂත්වයක් ලබා මෙවැනි අඹ ගෙඩි කොහේ හැදෙන්නේදැයි මිනිසුන්ගෙන් විචාළහ. මිනිස්සු මෙසේ කීහ. දේවයන් වහන්ස! හිමවත් පර්වත ප්‍රාන්තයේ ඇත්තාහ. එය ගෙන එන්නට හැක්කේදැයි රජු විචාළේය. දේවයන් වහන්ස වැද්දෝ දනිතියි කීහ.
රජු වැද්දන් කැඳවා ඔවුන්ට මෙවන් කියා සාකච්ඡා කොට එක් වැද්දෙකුට කහවණු දහසක් දී, තෝ වහා ගොස් මේ අඹ ඵල ගෙන එවයි නියම කළේය. හෙතෙම ඒ කහවණු අඹු දරුවන්ට දී මග උපකරණ ගෙන ගඟ ඉහළ කර්ණමුණ්ඩ විලට අභිමුඛව ගොස් මනුෂ්‍ය පථය ද ඉක්මවා කර්ණ මුණ්ඩ විලෙන් මෙහා සැට යොදුනක් පමණ ප්‍රදේශයේ දි එක් තාපසයෙකු දැක, ඔහු විසින් කියන ලද මගින් ගොස් නැවත තිස් යොදුනක් ගිය තැන එක් තාපසයකු දැක, ඔහු විසින් කියන ලද මගින් යන්නේ, නැවත පසළොස් යොදුනක් පමන තැන් ගොස් තවත් තාපසයෙකු දැක, ඔහුට තමන් පැමිණි කාරණය කීයේය. තාපසයා ඔහුට අනුශාසනා කළේය. මෙතැන්පටන් මෙම මහා ගංගාව හැර, කුඩා ගඟක් හමුවේ එහි උඩු ගං බලා යන විට යම් තැනක පර්වත සිදුරක් දැක්කේ නම්, රාත්‍රියෙහි ගිනිහුළක් ගෙන ඇතුල් වෙනු. මේ ගංගාව රෑ කාලයෙහි නැත. එහෙයින් තොපගේ ගමනට සුදුසුය. යොදුන් කීපයක් ගිය තැන අඹ දක්නෙහි යයි කීයේය. හෙතෙම කී පරිද්දෙන් කොට උදයෙහි හිරු උදාවන කල්හි නානාවිධ රත්නයන්ගේ රශ්මි සමුහයෙන් බැබලුණු භූමියේ, ඵලබරින් නැමුණු අතු සමුහ ඇති නානාවිධ ගස් පෙළින් හෙබි, විවිධ පක්ෂි සමූහයා විසින් නාද කරන, ඉතා සිත්කළු වූ අඹවනයට පැමිණියේය.
එකල්හි ඒ විමාන ප්‍රේතියෝ එන්නා වූ ඔහු දුරදීම දැක මොහු මට අයිතිය මොහු මට අයිති යයි කියමින් ලඟට දුව ආවාහුය. ඒ පුරුෂයා, වනාහි ඈලා සමග එහි දිව සැපත් වීදීමට සුදුසු වූ පිනක් සිදු කර නොතිබූ බැවින් ඒ ස්ත්‍රීන් දැක බිය වී, හඬ තලමින් දුව ගොස්, බරණැසට පැමිණ මේ ප්‍රවෘත්තිය රජුට සැල කළේය. එය ඇසූ රජු ඒ ස්ත්‍රීන් දැකීමට හා අඹ කෑමට හටගත් ආශා ඇතිව රාජ්‍යය ඇමතියන්ට භාර කොට මුව දඩයමේ යන අයෙකු මෙන් දුනු හීතල රැගෙන, කඩුව බැඳගෙන මිනිසුන් කීපදෙනෙකු පිරිවරා එම වැද්දා විසින් පෙන්වන ලද මග ඔස්සේ ගොස් දින කීපයකින් අතර තන්හි තන්හි මිනිසුන් නවතා වැද්දා පමණක් රැගෙන පිළිවෙලින් ගොස් වැද්දාත් එතැනින් නවත්වා හිරු උදාවන කල්හි අඹවනයට පැමිණියේය. ඒ ඒ ස්ත්‍රීහු අලුත උපන් දෙව් පුතෙකු වැනි වූ ඒ රජු දැක පෙරගමන් කොට රජ යයි දැන හටගත් ආදර බුහුමන් ඇතිව, මනාකොට නහවා දිව සළු හැද පළදවා මල් ගද විලවුන්වලින් මැනැවින් සරසා විමනට කැඳවාගෙන ගොස් නොයෙක් නොයෙක් මිහිරි රස දිව බොජුන් වළදවා ඒ රජුට කැමති පරිද්දෙන් සේවනය කළාහුය.
මෙසේ අවුරුදු එකසිය පණහක් ඉක්ම ගිය කල්හි, ඒ රජු අර්ධ රාත්‍රියෙහි නැගී සිටියේ පරපුරුෂ සේවනය කොට ප්‍රේතී වූ ස්ත්‍රිය පොකුණු තෙරට යනු දැක කුමක් පිණිස මේ තැනැත්තිය මේ වේලේ යන්නේදෝයි බලනුයේ විමසනු කැමතිව ලුහු බැඳ ගියේය. එකල්හි ඒ පොකුණු තෙරට ගිය ඈ බල්ලෙකු විසින් ගනු ලබනු දැක මේ කුමක්දැයි නො දන්නේ තුන් දවසක්ම විමසා බලා මෙතෙක් මැගේ සතුරෙක් වන්නේ යයි සිතා විෂ පොවන ලද හීයකින් විද ඒ සුනඛයා මරා ඒ ස්ත්‍රිය පොකුණට බස්වා නැවත පළමු රූපය ලැබීමෙන් පසුව ගාථා දහයකින් ඇගෙන් ඒ ප්‍රවෘත්තිය විමසුවේය.
ඒ පොකුණෙහි රනින් කළ පඩි පෙළවල් හා පුවරු ද වෙති. රන්වන් වැල්ලෙන් යුක්ත විය. රුචිකර වූ පිරිසිදු සුවඳ ඇති සිත්කළු හෙල්මැල් පිපී තිබේ.
නොයෙක් රුක්වලින් ගැවසී ගත්තේය. අවට හාත්පසින් හමන සුළග නන්විධ සුවඳින් යුක්තය. රත් නෙළුම් දියෙහි හැම තැන පිපී ඇත. සුදු නෙළුම් ද ඒ හා සමානව ඇත්තේය.
සිසිල් වූ ද, සුවඳවත් වූ ද මද සුළං හමයි. හංස කොක්වාළිහිණි සහ සක්වා ළිහිණියන් හඬින් අවට ප්‍රදේශ ගිගුම් ගනී.
විවිධ වර්ණවත් පක්ෂී සමූහයාගෙන් ගැවසී ගත්තේය. නන් වැදෑරුම් පක්ෂීන්ගේ රාවයෙන් යුක්තය. බොහෝ සෙයින් ඵලදරණ ගස් ඇත්තාහ. අවට වනයේ විවිධ ජාති - සුවඳ මල් පිපී ඇත.
මෙබඳු වූ නුවරක් මිනිසුන් අතර මිනිස් ලොව නැත. රන් පැහැ රිදී පැහැ ඇති බොහෝ ප්‍රාසාදයෝ, වෙති. සිව් දිසාවන්හි හාත්පස ඉතාමත් දැකුම්කළුව බබළන්නාහ.
ඔබගේ වතාවත් කිරීම සදහා පන්සියයක් දාස ස්ත්‍රීහු ද වෙත්. ඒ ස්ත්‍රිහු ද සක්වළලු, අඟුපළදනා - (අතේ වැළමිටෙන් ඉහල බාහුවෙහි පළදින ආභරණ) වන්ගෙන් සැරසී සිටිති.
විවිධ වර්ණ හා සුවඳ මල් ගසා සරසණ ලද දිගු කේශ කලාපයෝ ඔවුන්ට තිබේ. සියළු කාමයන්ගෙන් ඒ ස්ත්‍රීහු සම්පූර්ණ වෙත්
කෙහෙල් මුවසම් පස තුරුණු අතුරණ ලද හා දික් ලොම් වලින් ගහණ කොදු පලස් අතුරණ ලද ස්වර්ණමය වූ බොහෝ ආසන ඔබට ඇත්තේය.
(මෙවැනි සම්පත් ඇති ඔබ) අර්ධ රාත්‍රිය මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම ඒ ආසනයෙන් නැගිටින ඔබ උයන් වත්තට යන්නීය. (එසේ යන ඔබ) ලා තණ සමූහයෙන් නිල්වන් වූ, ශුද්ධ වූ පොකුණු තෙරට ගොස් සිටී.
(එසේ සිටින්නා වූ) ඔබව සිදුණු කර ඇති බලෙකු විසින් කා දමනු ලබන්නේය. යම් කලෙක සුනඛයා විසින් කා ඉතිරි වූ ඇට සැකිල්ල පොකුණට බසිනෙහිය. ඉක්බිතිව පෙර මෙන්ම යළි ශරීරය ඇති වේ.
ඉන්පසුව මනරම් වූ ප්‍රිය දැකුම් ඇත්තා වූ සියලු අඟ පසඟින් යුතුව ඔබ වස්ත්‍රයක් පොරවාගෙන මා හමුවට එන්නී ය.
කන් සිඳුනා වූ සුනඛ තෙම මුළුමනින්ම ශරීර අවයවයන් කයි ද? මෙය කිනම් කර්ම විපාකයකින් සිදුවන්නේ ද? ඔබ කයින් වචනයෙන් සිතෙන් කවර ආකාරයක අකුශල කර්මයක් කරන ලද්දේ ද?
එහි සොවණ්ණ සොපාන ඵලකා - රනින් සෑදු පියගැට පෙළ - සොවණ්ණ වාලුක සණ්ඨිතා - හාත්පස අවට රන්වන් වූ වැලිවලින් යුක්ත වේ. කත්‍වා යනු පොකුණහි සොගන්‍ධියා - හෙල්මැලි, සුදු මානෙල්, වග්ගු යනු සිත්කළු, රුචිකර, සුචිගන්‍ධා - යනු සිත් පිණායන සුවඳ
නා ගන්‍ධසමීරිතා යනු නොයෙක් ආකාරයේ මනෝඥ සුවඳින් යුත් වාතයෙන් අවට පරිසරය සුවඳවත් වූ, නානා පදුම සඤ්ඡන්නානි - යනු සිය දහස් ගණන් වූ රත් පැහැ පිපුණු නෙළුම්වලින් සැදුණු ජල තලාව පුණ්ඩරීක සමොගතා - යනු සුදු නෙළුම්වලින් ආකීර්ණ වූ,
සුරභි සම්පවායන්ති - යනු දිව්‍ය සුවඳ පොකුණෙන් හමායයි යන අදහසයි. හංස කොඤ්චාභිරුදා - යනු හංසයන් විසින් ද කොස්වාලිහිණියන් විසින් ද හඬ නගන නාදකරන -
නානාදිජගණායුතා - යනු විවිධ වර්ග පක්ෂීන් ගැවසී වසන්නා වූ, නානාසර ගණායුතා - යනු නොයෙක් වර්ගවල පක්ෂීන්ගෙන් සමන්විත වූ, නානා ඵල ධරා - නොයෙක් ආකාර ඵල දරන්නා වූ, සියලු කල්හිම මල් ගෙඩි දරණ අතුපතර ඇති නානා පුප්‍ඵධරාවනා - යනු නොයෙක් වර්ගවල දිව්‍ය පුෂ්පයන් දිවමල් දෙන්නා වූ, පිපෙන්නා වූ වනරොද යන අර්ථයි. ලිංග විපර්යාසයෙන් වනා යයි කියන ලදී,
න මනුස්සෙසූ ඊදිසං නගරං - යනු යම්බදු වූ මෙවැනි නගරයක් වේ ද මෙවැනි නගරයක් මිනිසුන් අතරෙහි නැත. මනුෂ්‍ය ලෝකයේ පහළ වී නැත යන අදහසයි රූපියාමයා - රිදීයෙන් කළ, දද්දල්ලමානා - අතිශයින් බබළන්නා වූ, ආහෙන්ති බබළතී ශෝභමාන වෙත් සමන්තා චතුරො දිසා - අවට හාත්පස සතර දිසාවන්හි
යා තෙමා - යම් මේ ඔබ, පරිචාරිතා - වතාවත් කරන්නා වූ උවැටන් කරන්නා වූ, නා යනු පිරිවරජනයා - කාකම්බූ කෙයුරධරා - යනු සක්වළලු අගුපලදනාවන්ගෙන් අතේ මැණික් කටුවේ දමන වළලු හා, වැලමිටෙන් උඩ බාහුවේ පළදින රන් අභරණ අලංකාරව බබළන - කඤ්චනාවෙල භූසිතා - රන්වන් වූ හිස පළදින මල්දම්වලින් මුදුන් මල්කඩ අලංකාර කළ කේශකලාප ඇති,
කාදලිමිග සඤ්ජන්නා - යනු කෙසෙල් මුවන් සමින් කළ ඇතිරිලි ඇතුරූ සජ්ජා - යනු නිදීමට සුදුසු සේ සාදන ලද ගොණක සත්‍ථතා - යනු දික් ලොම්වලින් සාදන ලද සුවදායක කොඳුපලස් -
යත්‍ථා යනු යම් ආසනයෙක්හී, වාසුපගතා - වාසයට පැමිණි නිදිගත් යන අර්ථයි. සම්පත්තා යඩ්ඩරත්තිය - මධ්‍යම රාත්‍රිය පැමිණි කල්හි, තතො - යනු ඒ නිදාගත් සයනයෙන්,
පොක්‍ඛරඤ්ඤා තීරෙ - ඔබ පොකුණු තෙරට යන්නිය. හරිතෙ යනු නිල් වූ, සද්දලෙ - යනු තුරුණු තණ කොළවලින් ගැවසී ගත් සුභෙ - යනු පිරිසිදු වූ, සුහෙති වා - ඇයට ඇමතීමයි. සොඳුරු නිල්පාට ලා තණකොළවලින් ගැවසීගත් පොකුණු තෙරට ඔබ ගොස්, ඨාසි - සිටී යන අර්ථයි. යෙදීමයි.
කුණ්ණ මුණ්ඩො - යනු කැඩුණු කන් ඇති, සියුණු කන් ඇති, ඛායිතා ආසි - යනු කනු ලබන්නේ වේ. අට්ඨිසංඡලිකා කතා - යනු ඇටසැකිල්ල පමණක් ඉතිරි කරයි. යථා පුරෙ යනු සුනඛයා විසින් කෑමට පෙර, මෙන්,
තතො යනු පොකුණට බැසීමෙන් පසුව, අඞ්ග පච්චඞ්ගී යනු සම්පුර්ණ වූ සියලු අඟ පසඟ ඇතිවෙයි. සුවාරු - යනු අතිශය යහපත් සිත් වසීකරන, පියදස්සනා - යනු දර්ශනීය, පියකරු - මනාප) ආයාසී - එන්නෙහිය.
මෙසේ ඒ රජු විසින් විචාරණ ලද්දා වූ ඒ ප්‍රේතිය ආදියෙහි පටන් තමා පිළිබඳ ප්‍රවෘත්තිය රජුට කියන්නී, මේ ගාථා පහ කීවාය.
(යටගිය දවස) කිම්බිලා නුවර ශ්‍රද්ධාවත් වූ උපාසක ගෘහපතියෙක් වූයේය. මම ඔහුගේ බිරිඳ වීමි. ස්වාමියා ඉක්මවා හැසිරෙන සිල් නැත්තියක් වීමි.
මෙසේ ස්වාමියා ඉක්මවා හැසිරෙන මට මගේ ස්වාමියා (දිනක්) මෙසේ කීය. යම්හෙයකින් තී මා ඉක්මවා හැසිරෙයි ද මෙය සුදුසු නොවේ, යහපත් නොවේ.
එහි දී මම කයින් තෝ සිතින් ඔබ ඉක්මවා නොහැසිරෙමියි බොරු කීමි. එසේ කියා දරුණුම වූ දිවිරීමකින් දිවුරුවෙමි.
ඉදින් මම කයින් හෝ වචනයෙන් ඔබ ඉක්මවා හැසිරෙන්නේ නම් කන් කොට වූ මේ බල්ලා මගේ අවයවයන් කා දමාවා - (මෙසේ දිවුලෙමි)
ඒ අනාචාර අකුශලයාගේ ද බොරු කී අකුශලයේ ද, කර්ම විපාක අවුරුදු පන්සීයක් මුළුල්ලේ විදින ලද්දෙමි. මේ කර්ම හේතුවෙන්ම මගේ ශරීර අවයව මේ කන් නැති බල්ලා අනුභව කරයි.
එහි කිම්බිලාය - යනු කිම්බිල නම් නම් ඇති නගරයෙහි, අතිචාරිණී - යනු භාර්යාව හෝ ස්වාමියා හෝ ඉක්මවා හැසිරීම අතිචාරිණී යයි කියයි. එසේ ස්වාමියා ඉක්මවා හැසිරුණා වූ මා කෙරෙහි, ඒ මාගේ ස්වාමියා මෙසේ කීවේය, යන යෙදීමය. නෙතං ඡන්නං යනු ආදී වශයෙන් දැක්වූ ආකාරයයි. එතං ජන්නං - එය යුතු නොවේ. නප්පති රූපං - යනු සමාන අර්ථ ඇති වචනමයි. යං - යනු ක්‍රියාව පරාමර්ෂනය කිරීමයි. අතිචරාසි - යනු ඉක්මවා හැසිරෙයි. මෙයම පෙළයි. යමෙක් ඔබ හෝ මා ඉක්මවා හැසිරේ ද? එය සුදුසු නොවේ යන අර්ථයි.
ඝොරක - දරුණු සපථං යනු දිවිරීම, අභාසිසං - යනු කීයේය. ස්වාහං - ඉදින් මම, තං - ඔබ තස්ස කම්මස්සා යනු ඒ පාප කර්මයාගේ දුශ්ශීල කර්මයාගේ, මුසාවාදස්සා චා යනු මම එසේ ඉක්මවා නො හැසිරුණෙමි යනුවෙන් බොරු කී කර්මයෝ ද උභයං යනු විපාක දෙකක්, අනුභූතං - මා විසින් වළදන්නෙමි, භුක්ති විදින්නෙමි යන අර්ථයි. යතො - යනු ඒ පාප කර්මයෝ,
මෙසේ කියා රජු විසින් තමන්ට කරන ලද උපකාරය ගැන ප්‍රශංසා කරන්නේ,
දේවයන් වහන්ස! ඔබ මට වැඩ පිණිස මෙතැනට ආයේය. ඔබ මට බොහෝ උපකාර වූයේය. මම කන් සුන් බල්ලාගෙන් මිදුනේ වීමි. ශෝක නැත්තියක් ද බිය නැත්තියක් ද වූයෙමි.
දේවයන් වහන්ස! මම ඔබ වඳිමි. ඇඳිලි බැඳ යාඥා කරමි. දේවයන් වහන්ස දිව්‍යමය වූ කාම සම්පත් වළඳනු මැනැවි. මා හා සමග ඇලෙනු මැනැවි. මේ අදහස් පැවසීය.
එහි දේවා යනු රජුට ඇමතීමයි. කණ්ණමුණ්ඩස්සා - යනු කර්ණ මුණ්ඩ ප්‍රේතිය කෙරෙන් වෙන්ව යාමේ මේ රජුගේ වචනයයි - ඉක්බිති රජු එහි වාසයෙන් නික්ම යනු කැමැත්තේ තම අදහස ප්‍රකාශ කළේය. එය අසා විමාන දෙව් දූ රජු කෙරෙහි පිළිබඳව සිත් ඇතිව එහිම වසන ලෙස ආයාචනා කළය. ඒ සඳහා තාහං දෙවනමස්සාමී ගාථා කීහ.
නැවත රජු එක් අදහසින්ම යනු කැමැත්තේ තමන්ගේ අදහස පවසමින් අවසාන ගාථාව කීයේය.
තී හා සමග දිව්‍ය සම්පත් අනුභවකොට ඇලුණේ වීමි. සුපින්වතිය. වහා මා නැවත මගේ නුවරට පමුණුවාලවයි මම තී යදිමි.
එහි තාහං - ඒ මම, සුභගෙ - පිනෙන් යුත් තැනැත්තිය, පතිතයාහිමං - මගේ නුවරට මා ඇරලව, පමුණුවව, අනෙක් සියල්ල ප්‍රකටය.
එවිට ඒ විමාන ප්‍රේතිය රජුගේ කීම අසා වියෝ දුක නොඉවසන්නී ශෝක වී වියවුල් සිත් ඇතිව වෙවුලන ශරීර ඇතිව, නොයෙක් උපායවලින් ආයාචනය කොටත් ඒ රජ එහි නවත්වා ගැනීමට නොහැකි වන්නී, මහත් වටිනා බොහෝ රත්නයන් හා සමග රජ්ජුරුවන් නුවරට පමුණුවා, පහයට නංවා, හඬා වැළපී තමන් වසන තැනටම ගියාය.
ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපදී පවත්වන ලද උතුම් ධර්ම චක්‍ර ඇත්තේ පිළිවෙලින් සැවැත් නුවර වසන කල්හි එක් දවසක් මහ මුගලන් තෙරණුවෝ පර්වතයන්හි හැසිරෙන්නේ ඒ පිරිවර සහිත ස්ත්‍රිය දැක ඇය විසින් කරන ලද කර්මය විචාළේය. ඇය ආදියේ පටන් සියලු ප්‍රවෘත්තිය තෙරුන්ට කීය. තෙරුන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළහ. ඒ පුවත මුගලන් තෙරුන් විසින් භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. උන්වහන්සේ එය. අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. මහාජනයා සංවේගයට පත්ව පව්වලින් මිදී දානාදී පින්කම් කොට ස්වර්ග පරායණ වූයේය.
කණ්ණ මුණ්ඩ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා 🙏