16/06/2023
උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය
මැද කඳුකරයේ සොඳුරු ඉසව්වක පිහිටි, සබරගමුවේ සුවදායක පරිසරය ආශ්‍රිතව පිහිටා තිබෙන මාවනැල්ල, සොබා සෞන්දර්යයෙන් අනූන, ඓතිහාසික වටිනාකම් සැඟවුණු ප්‍රදේශයකි. මාවනැල්ලේ උරුමයට වටිනාකමක් එක් කරන උතුවන්කන්ද, ලංකා ඉතිහාසය තුළ සලකුණු තබන්නේ සරදියෙල් චරිතය නිසාය. සරදියෙල් ජීවත්ව සිටි වකවානුව සිහිපත් කරන සරදියෙල් ගම්මානය, උතුවන්කන්ද පාමුල දී සිත අතීතයට කැඳවාගෙන යන්නට සමත් අපූරු ස්ථානයකි.
1832 මාර්තු 25 වැනිදා උපත ලද දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල්, ඉංග්‍රීසි පාලනයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් වැරැදිකරුවකු ලෙස නම් කර තිබූ හෙයින්, ඔහු සැඟව සිටියේ උතුවන්කන්ද ප්‍රදේශයේය .
කොළඹ සිට උඩරටට ප්‍රවාහන කටයුතු සිදුකළ ගමන් මාර්ගය හොඳින් දර්ශනය වන ස්ථානයක සැඟවී, එම මඟෙහි ගමන් ගන්නා ඉංග්‍රීසි ජාතිකයන්ට හා ඔවුන්ගේ පාක්ෂිකයින්ට පහරදී , ඔවුන් සතු වස්තුව පැහැරගෙන දුප්පත් ජනතාව අතර බෙදා දුන් නිසා , සරදියෙල් “ලංකාවේ රොබින් හුඩ්” ලෙස හැඳින්විය .
අවස්ථා කිහිපයකදීම අත් අඩංගුවට ගත්තද එයින් මිදී පැන යාමට තරම් සරදියෙල් දක්ෂයකු විය. ලංකා ඉතිහාසයේ පළමු වරට පොලිස් නිලධාරියකු මරා දැමෙන්නේද ඔහු අතිනි.1864 මාර්තු 21 වැනි දින අත් අඩංගුවට ගත් සූර සරදියෙල් නම් ජනතාවගේ වීරයා, 1864 මැයි මස 7 වැනි දින මරුමුවට පත් කරනු ලැබිණි .
සරදියෙල් පිළිබඳ කතා කරන්නට, පොත් පිරෙන්නට ලියන්නට තරම් කතන්දර තිබේ. ඔහු සිහි කරනු වස් උතුවන්කන්දේ නිර්මාණය කර ඇති “සරදියෙල් ගම්මානය“ද අතිශයින්ම දැකුම්කළුය. කොළඹ - නුවර මාර්ගයේ යන විට මුණ ගැසෙන උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව අසලින් වමට හැරී, කිලෝමීටරයක් පමණ ගමන් කරන විට සරදියෙල් ගම්මානය හමුවේ. අක්කර හයක තරම් විශාල භූමි භාගයක් තුළ ගොඩනැගී ඇති සරදියෙල් ගම්මානය වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ගොඩනැගුණු ස්ථානයකි.
1980 දශකයේ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ලෙස එතුමා සේවය කරන අවදියේ එක්තරා රෝගියකු පරීක්ෂා කිරීමට ගිය ගමනකදී, ඔහුට සරදියෙල් පිළිබඳ අධ්‍යයනයක යෙදීමට ලැබුණු අවස්ථාව, මේ අපූරු නිර්මාණයෙහි මූලාරම්භය ලෙස හැදින්විය හැකි ය. එවක් පටන් සිය සිතෙහි නිර්මාණය වූ මේ කලාත්මක සහ ඉතිහාසය ප්‍රතිනිර්මිත අපූර්ව ගම්මානය සැබෑවක් කරන්නට ආරියසේන වෛද්‍යතුමන් සිය කාලය ශ්‍රමය වැය කරමින් බොහෝ වෙහෙස විය.
එවක ගමෙහි මූලික කේන්ද්‍රස්ථානය වූ ආරච්චිගේ නිවෙස ආශ්‍රිතව ගව ගාල, ගම ගෙදර, කුරහන් ගල, නැකැති රාලගේ ගෙදර, රන්කරුවාගේ ගෙදර, කුඹල් ගෙදර, වෙද ගෙදර, මුළුතැන්ගෙය, වී බිස්ස, තිඹිරි ගෙය, දඬුකඳ කියන මේ කරුණු කාරණා සියල්ල පිළිවෙළකට නිමවා ඇති මේ ගම්මානය තුළ, එම කාල වකවානුවේ ජන ජීවිතය කියවාගත හැකි පරිදි නිර්මිත පිළිරූ ඇසුරින් නරඹන්නන් අතීතයට රැගෙන යයි.
සරදියෙල් සිය ළමා වියේ අකුරු කළ තැන් පටන් ගෝන්දිවෙල ආරච්චිගේ මල්ලිගේ පුතාට බැට දුන් ආකාරය සහ අනතුරුව චෞරයකු වීම තෙක් සරදියෙල් චරිතය ක්‍රමානුකූලව ගොඩනැඟුණු ආකාරය විදහා දැක්වීමට සියුම් භාව ප්‍රකාශන පවා ඉස්මතු කරමින් මේ ප්‍රතිමා නිර්මාණය කරන්නේ, චිත්‍ර කලා ගුරුවරයකු වන මිල්ටන් ජයපාල මහතා ය.
වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගේ දැඩි උත්සාහය මල්ඵල ගන්වමින්, සරදියෙල් ගම්මානය 2012 ජනවාරි 29 වැනි දින මහජනතාවට විවෘත විය.
ඉතිහාසය සහ සොබාදහම පිළිබඳ අධ්‍යයනය කරන අයට මෙන්ම, ඡායාරූපකරණය, සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණය සඳහාද යොදාගත හැකි අයුරින් මේ ගම්මානය නිර්මාණය වී තිබේ. එසේම, කඳු නැගීම, කඳවුරු නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වන අයට ද සරදියල් ගම්මානය අපූරු තෝතැන්නකි.
Copied ✍️