28/10/2023
#කෙල්ලෙක්ට_තනියෙන්_යන්න_පුලුවන්_තැනක්
ඔයත් හැමදාම එක එක්කෙනා එහෙ මෙහෙ ගිහින් ගහලා දාන සෙල්ෆියි, ෆොටෝසුයි වලට ලයික් කරන කෙනෙක්ද?ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනතාවගෙන් මේ හීල්ලීමට මූලිකවම වග කියන්නෙ කෙල්ලො. කොල්ලන්ට ලැබෙන මූලික අයිතිවාසිකම් වලින් හරි අඩක්වත් නොලැබෙන තැන කෙල්ලො හැමවෙලේම බලන්නෙ තමන් හදාගත්තු එක්ටැම් ගේක තනිවෙන්න.
ඇත්තටම තමන්ට කැමති දෙයක් කරන්න ඕනි නම්, තමන්ට තමන්ව විශ්වාස නම් ලෝකෙම එක පැත්තක් වෙලා තියෙන තැන මම කියන කන්සෙප්ට් එක හොදටම ඇති වෙන කාගෙවත් අත් ඕනිද එතකොට ජීවිතේ ඇවිදගෙන යන්න කෙල්ලෙක්ට ..?
ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය
නුවරඑළිය
_________________________________
පිදුරුතලාගල කඳු මුදුන සිපගනිමින් හිරු රශ්මිය පොළව සිබින්නට සුදානම් වන වෙලාවේ මගේ සුදානම වූයේ නුවරඑළිය නගරයට මදක් නුදුරින් පිහිටි ගැල්වේස් පාර්ක් නැරඹීම යැම සදහායි. පාවහන් නොමැතිව බිම පා තැබීමටවත් නොහැකි සීතල රජ කරන විට මම ජර්සි තුල ගුලි වූයේ පාරාජය භාරගනය. කෙතරම් සීතල වුව ද, එය ගණනකටවත් නොගත් ලිලී මල් ඔච්චම් කරමින් සිනාසෙන්නට වූ නිසා ම, මම මගේ ගමන යා යුතු යැයි දැඩි සේ අදිටන් කර ගතිමි.
ග්‍රෙගරි වැවට උඩින් පියාඹා යන කොකුන් රෑණ, වැවට උඩින් සුදු පිරුවටයක් එලුවා වැනි ය. මිහිදුම් තිර කෙමෙන් කෙමෙන් මෑත් වෙද්දී, ඒ අතරින් අපි නුවරඑළියේ සිට උඩුපුස්සැල්ලාව පාරේ ආර්ථික මධ්‍යස්ථානය අසලින් වැටී ඇති ගැල්වේස් පාර දිගේ සැතැපුමක් පමණ ගමන් කර ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයේ පුවරුව හමුට සේන්දු විය. (Department of Wildlife Conservation, Havelock Rd, Nuwara Eliya)
මුළු පෙදෙසම හරිත වර්ණයෙන් බැබලෙමින් ඇත. පරිසරයේ නිහඬ බව බිඳ දමමින් කුරුල්ලන්ගේ සුමියුරු ගී නාදයද කඩිසරව එහෙ මෙහෙ දුවන ලේනුන්ගේ ටිං ටිං හඩත් රැගෙන හමන මද සුළගේ සිලි සිලි හඩින් සැලෙන තුරුලතා තම අසිරිය විදගන්නට පැමිණෙන්නට මට කරන ආරාධනවක්දෝ සිතුනි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයෙන් ටිකට්පතක් මිලදීගත මම ක්‍රමානුකුවලව සකසා ඇති මංපෙත් ඔස්සේ පියනැගුවේ තුරුවදුලේ සැඟවී මිහිරි ගී නද පතුරන කුරුලු කෙවිලියන් දැක ගැනීමේ අටියෙනි.
ඉංග්‍රීසි ජාතිකයන් මෙරටපාලනය කළ සමයේදී, ඔවුන්ගේ රටට සමාන දේශගුණික තත්ත්වයක් පවතින නුවරඑළිය ප්‍රදේශයේ වෙසෙමින් වතුවගා කටයුතුවල නියැළිනි. සතුනට ඇල්මක් දැක්වූ ඉංග්‍රීසි පාලකයන්, ඔවුන්ගේ වාසය සඳහා අභය භූමියක් තැනිය යුතු යැයි තීරණය කළේ ය. ඒ අනුව ගැල්වේස්ලෑන්ඩ් අභය භූමිය, අක්කර 15ක බිම් පෙදෙසක තනනු ලැබීය. මේ ඉඩම, කපිතාන් පී.පී. ගැල්වේස්ට අයත්ව තිබූ නිසා, ගැල්වේස්ලෑන්ඩ් ලෙස නම් කර ඇත.
මෙය අභය භූමියක් ලෙස 1938 මැයි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. ජෛව විවිධත්වයෙන් අනූන මේ භූමියේ සුරක්ෂිත බව තව දුරටත් තහවුරු කිරීම සඳහා 2006 වසරේ මැයි මස 18 වැනිදා හෙක්ටයාර් 29.32ක (අක්කර 73ක්) බිම් ප්‍රමාණයක් ගැල්වේස් ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් මේ මනරම් ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය සංචාරකයන් වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ 2007 වසරේ අප්‍රේල් 04 වැනිදා සිටය. මේ වනවිට මේ ජාතික උද්‍යානය වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර, හෙක්ටයාර 56.6ක බිම් ප්‍රමාණයකින් යුක්තවේ .
දුර්ලභ පිහිටීමකට හිමිකම් කියන ගැල්වේස් ලැන්ඩ් උද්‍යානය උදේ හයේ (6 AM) සිට සවස පහ (5 AM ) දක්වා සංචාරකයින්ට විවෘත වන අතර ශ්‍රිලංකාවේ නගරයක් මධ්‍යයේ පිහිටි එම ජාතික උද්‍යානයද මෙය වේ.
නිරිත දිග මෝසම් වැසි හා සංවහන වැසි ලැබෙන මේ වනෝද්‍යානයට, වාර්ෂිකව මිලිලීටර් 2400 (2400ml) වර්ෂාපතනයක් ලැබේ. කඳුකර තෙත් සදාහරිත කලාපයට අයත් මේ වනයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.5 (15.5°C). එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 ඉක්මවා යන්නේ නැත.
රතු හා කහ පොඩ්සොලික් පසකින් යුතු මේ වනෝද්‍යානයේ වැඩිපුරම ස්වභාවිකව වැඩුණු වැල් සපු, කීන, දඹ වැනි ශාක මෙන් ම, ඉංග්‍රීසින්ගේ පාලන කාලයේ වැව්වා යැයි සිතිය හැකි ෆයිනස්, යුකැලිප්ටස් වැනි ද්විතියික ශාක පද්ධතියක් ද ඇත. මේ ශාක ප්‍රජාවට යටින් බටකෑල පර්ණාංග කුරුබට, පහන් නෙළු වැනි ආරෝහක ශාක හා අපිශාක ප්‍රජාවක් ද වැවි තිබීම විශේෂත්වයකි.
වනාන්තරයට ඇතුළු වන ස්ථානයේ සිට කිලෝ මීටර් 1.8ක් පමණ දුර යන තෙක් පටු මංපෙත් සකසා ඇත්තේ සංචාරකයින්ගේ පහසුවට මෙන්ම වනාන්තරයේ සුන්දරත්වය වන හානිය අවම කරගන්න අටියෙනි.
වනයේ මැද හරියට පමණ යනවිට විවිධ වර්ණයෙන් යුතු සමනලුන් ඉගිල යන අයුරු දකින්නට ලැබීම අපූර්ව දසුනක් විය. සමහර තැන්වලදී කොළවල හඬ නඟමින් කැළය තුළට දිවයන සතුන්ගේ හඬ සිතට කුතුහලයෙන් පිරවීමට සමත් විය. ගෝනා, හාවා ,වැලිමුවා, වල් ඌරා, අඳුන් දිවියා, දඩු ලේනා වැනි ක්ෂීරපායි සතුන් මේ වනෝද්‍යානයේ උරුමක් කරුවන්වේ. තැන තැන ඇති ලීයෙන් නිමවූ අසන සංචාරකයින්ට වනාන්තරයේ නිදහස විදීමටත් සතුරන් කුරුල්ලන් නැරබීමට මහගු රුකුලක් ගෙනාවේය.
ඉතා උස් තුරු මත හිඳ මිහිරි ගී ගයන කුරුල්ලන්ගේ නද දසතින් ම ඇසේ. කෙතරම් ඉවසිලිවන්තව උන් සොයා නෙතු දිව ගිය ද, කොපමණ වේලාවක් බලා සිටිය ද, උන් දැකගන්නට නොලැබුණු අවස්ථා බොහෝය. අපේ රටට ආවේණික කුරුල්ලකු වන පීතකන් කොණ්ඩයා මේ වනාන්තරයේදී වැඩිපුරම දැකිය හැකි බව සදහන් වුවද මා හට නම් ඒ සදහා වාසනාව හිමි නොවිනි.
මේ වනාන්තරයේ කුරුලු විශේෂ 35ක් සිටින අතර, ඉන් විශේෂ 09ක්ම අපේ රටට ආවේණික කුරුල්ලන් ය. දෑදෙමලිච්චා, ලංකා සිතැසියා, ලංකා බෙරග දෙමලිච්චා , අලුකෑදැත්තා, ලංකා නිලන මැසිමාරා, ලංකා වළිකුකුලා, උරුවන් තිරාසිකයා, කහකන් කොන්ඩයා, මයිලගොයා වැනි කුරුල්ලන‍්ගෙන් යුතු මේ වනයේ සර්ප විශේෂ ඉතාමත් අඩු ය. නයා, ඇහැටුල්ලා සහ ලේ මැඩිල්ලා කුරු බෝදිලිමා, අං කටුස්සා වැනි සර්ප විශේෂ වනය වාසස්ථාන කරගෙන ඇති බවට සදහන් කර තිබිණි.
ගැල්වේස්ලෑන්ඩ් වනයේ සැරිසරන විට ශ්‍රී ලංකාවේ විශාලතම පර්ණාංග ශාකය වන ගිනිහොට ශාකය වනය පුරා ම දැකගත හැකි ය. වන උයන ඇතුළට යනවිට අහස සිපින රූස්ස ගස් අතර, අතු විහිද ගිය අලංකාර ගසක් දැකගත හැකි විය. වෙනත් වනයකදී දක්නට නොලැබෙන මේ අහස සිබින තරමටම උස් වූ විදේශීය ශාක විශේෂය ඇරෝකේරියා වර්ගයට අයත් බව මම පසුව කල සොයාබැලීමේදී දැනගත හැකිවිය.
මේ වනාන්තරයේ බොහෝ තැන්වල සතුන්ට ජලය බීම සඳහා සැකසූ කුඩා වතුර වළවල් දැකගත හැකි විය.
ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානදී, වෙනත් වනෝද්‍යාන වල එකවර දකින්නටට නැතිතරම් දිලීර හා ලයිකන වර්ග අතුපතර මෙන්ම පොලවේද දැකගන්නට ලැබෙන අතර උද්‍යාන අලංකාරය තවත් ඔප්නංවන සාදකයක් විය.
ගැල්වේස් ලැන්ඩ් උද්‍යානයේ පුරා අඩහොරවකට වඩා කාලයක් නිහඩව සුන්දරත්වයත් නිදසහස් මොනවට විදි මම ඒ සුන්දරත්වයට සමුදී නැවත මගේ නවාතැන බලා ගමන් කෙරෙමි.
ස්වාභාවික මංපෙත තුලදී ඔබගේ අත්දැකීම් මල්පල ගන්වනු පිණිස ……..
♾ නිශ්ශබ්දතාවය සුරකින්න.
♾ මංපෙතෙන් බැහැරව ගමන් කිරීමෙන් වලකින්න.
♾ ශාක ඉදිරීමෙන් හෝ හානි කිරීමෙන් වලකින්න.
♾ වන සතුන්ට හානි කිරීමෙන් වලකින්න.
♾ සෙසු නරඹන්නට බාදා නොවන අයුරින් හැසිරෙන්න.
♾ උද්‍යානය තුලට අපද්‍රව්‍ය එකතු නොකීරිමට වග බලා ගන්න.
♾ උද්‍යානය තුල ගිනි දැල්වීම හෝ ගිනි ඇතිවිය හැකි ක්‍රියා සිදු නොකරන්න.
♾ සංගීත භාණ්ඩ , ගුවන් විදුලි යන්ත්‍ර යන ආදිය උද්‍යානය තුලට ගෙනයාමෙන් වලකින්න.
♾ නියමිත කාලයට පසු උද්‍යානයෙන් බැහැරවීමට කාරුණික වන්න...
මෙලෙස ඔබ උද්‍යානයට ආදරය කරන පරිසර හිතකාමියෙකු ලෙස හැසිරෙනු ඇතැයි මම බලාපොරොත්තු වන්නෙමි.
සටහන - සුභාෂණි තෙන්නකෝන් (28/10/2019)
ලංකාවේ තනියම යන්න පුලුවන් තැන් ගැන දැන ගන්න..
එකතු වෙන්න මාත් එක්ක..
https://www.facebook.com/travelnurseSubha?mibextid=ZbWKwL