02/05/2024
නමවන සිරිපා කරුණාව - 2024
ගිය වාරේ ඉදිකටුපානෙන් නැවතුන සිරිපා කරුණාව මේ වාරේ සම්පුර්ණ කරන්නත් , කෝඩුකාරයෙක්ව සිරිපා වන්දනා කරවන්නත් ගිය නමවෙනි සිරිපා කරුණාව ඉවර කලෙමි. විශේෂත්වය වන්නේ නමවෙනි සිරිපා කරුණාව ඉවර වෙද්දී මම සිරිපා වන්දනා මංපෙත් තුනක් සම්පූර්ණ කරලා අවසන් විමයි.
පළවෙනි වතාවට කුරුවිට එරත්න වනමංපෙත ඔස්සේ උඩමළුවට කරුණාකරලා සුපුරුදු පලාබද්දල රජමාවතෙන් ආයෙත් පහලට කරුණා කරන්න තමයි අපේ නඩේ මුල ඉදන්ම යෝජනා කරන් හිටියේ , නඩේ කිව්වේ අපි 8 දෙනෙක් , වැඩිම සිරිපාවාර ගාණක් කරුණා කරපු කෙනා විදියට මං තමයි ඉතින් නඩේ ගුරා 😏, යෝජනා කරගත්ත විදියට 3/4 දවස් ලන් වෙද්දි අපේ නඩේ තුන්දෙනෙකුට ඒ දවස්වල යන්න බැරි උනත් හැමෝගෙම කැමත්ත උඩ ඉතුරු පස්දෙනා එදාටම කරුණා කරන්න යොදාගත්තා ,නඩේටම හිටියෙ එක කෝඩුකාරයෙක් විතරයි. ඉතින් සුපුරුදු විදියට දවස් දෙකකට අවශ්‍ය දේවල් අරන් 3 උදේ පාන්දරම ගාල්ල බලන්ගොඩ බස් එකේ අපි රත්නපුරට පිටත් උනා , දවල්ට කාලා , අනිත් කෑම / බඩු එහෙම අරන් රත්නපුරෙන් යන්න ලෑස්ති වෙද්දි 1.30 වගෙ , රත්නපුරෙන් එරත්නට යන්න කෙලින්ම බස් එකක් තිබ්බේ නැති නිසත් , කුරුවිට වනමංපෙතෙන් කරුණා කරද්දි වැඩි ප්‍රමාණයක් රෑට කරුණා කරන්න වෙන එකත් , මාත් කලින් නොගිය මාර්ගයක් නිසා රෑ කරුණා කරන එකේ පොඩි අවදානමක් තිබුන නිසත් අපි ක්ෂණිකව තීරණය කරා අපේ ගමන් මාර්ග උඩයට මාරු කරන්න. ඒ නිසා අපි 1.30ට පලාබද්දලට තිබුන බස් එකේ නැග්ගා, 2.30 වගෙ වෙද්දි අපි පලාබද්දල , පලාබද්දල රජමහා විහාරයෙදි ඒ වතාවත් ටික කරලා , කෝඩුකාරයා එක්ක මුළු නඩේම හිමේට අධිපති සමන් දෙවියන්ට බාර කරලා , නාලා කියලා හවස 4ට කරුණා කරන්න පටන් ගත්ත අපි හෙමින් හෙමින් මහන්සි අඩු කරගෙන උඩට ගියේ අපිට ඉරසේවය බලන්නත් තියෙන උවමනාව නිසා , අතරමැද විස්තර අතරෙ ලියන්න තරම් විශේෂයෙන් දේවල් නෑ , හැබැයි වෙනදට වඩා වැඩි පිරිසක් මේ මාර්ගයෙන් දැන් සිරිපා කරුණා කරනවා , ඒත් මාර්ගය සහ වටපිටාව තාමත් නොඉදුල් , ඒ වගෙම ටොයිලට් පිරිසිදුයි , ඒක මාර්ග දෙකෙම පොදුයි. ඒ වගෙම කෑම බීමත් යම් මට්ටමක හොදයි , කඩවල්වල දුම්වැටි විකුණන්නත් තහනම් .
එලිවෙන පාන්දර 4ට අපි උඩමළුවේ, පැය 12 ක් විතර ගිහින් අපිට. හැටන් නල්ලතන්නි මාර්ගයෙන් නම් තරමක සෙනගක් උඩහට කරුණා කරනවා , පද්මය වදින්නත් ටිකක් පෝලිම , හැබැයි විනාඩි 10කින් වගේ අපේ නඩේම සිරිපා පද්මය වැදගත්තා , ඊටපස්සේ සිරිපා කරුණා කරන්න බැරි උන ගොඩක් අයගේ පුදපඩුරු / බාරහාර උඩමළුවේ සමන් දේවාලෙදි දෙවියන්ට කැප කරලා ,කරුණ කරපු වාර ගානට ඝණ්ඨාරය ගහලා අපි බැලුවෙ ඉන්න තැනක් ,පහත මළුවේ විශ්‍රාම ශාලා / පඩිපේලි වල මිනිස්සු . කෝමහරි දොළොස්මහේ පහන තියෙන පැත්තෙ පොඩි ඉඩකට වෙලා අපි උදේ ඉර සේවයත් යම් දුරකට බලාගත්තා , තව ටික වෙලාවක් ඉදලා උදේ 7ට ආපහු පහලට කරුණා කරන්න පටන් ගනිපු අපි , උදේ 9ට විතර හැරමිටිපාන ආපනශාලාවෙන් කෑමත් කාලා හැරමිටිපානෙන් කුරුවිට එරත්න පාරට හැරුණේ පලවෙනි පාරට ඒ පාරෙන් ගමන් කරන්න. අපි හිතුවට වඩා පිරිසක් ඒ පාරෙන් උඩටත් පහලටත් කරුණා කරා, තරමක් දුෂ්කර උනත් ලස්සන නිසාම ඒ මහන්සිය දැනෙන් නැති වනමංපෙතක් , කිලොමීටර් 3න් තුනට වගෙ කඩ තියෙනවා , හදපු පඩිපෙල් නැති ස්වභාවික මංපෙතක් නිසා තමයි ටිකක් අමාරු , හැබැයි ඉතින් කිසිම සද්දයක් බද්දයක් නැති නිස්කලංක පරිසරයක අත්දැකිම ගන්න කෙනෙක් එකපාරක් හරි මේ පාරෙන් කරුණා කරන්නම ඕනා. 4 වගෙ වෙද්දි අපි පාමුලට ඇවිත් එතනින් ත්‍රීවිලර් එකක අඩවිකන්දට ආවා.
ඔන්න ඔහොමයි නමවෙනි සිරිපා කරුණාව අවසන් කරේ.