අයාලේ-Ayale

  • Home
  • අයාලේ-Ayale

අයාලේ-Ayale We are real travellers, origined from Mother Nature.
අපි අයාලයේ කල සංච?

05/09/2020

උඩරට දුම්රිය මාර්ගයේ Summit Level

23/08/2020

ඔන්න, අපි ආවා Great Western

16/08/2020

ලස්සන කදු මුදුනක camping කරන්න හිතාගෙන ගියා. තැන කියන්නේ නෑ. දන්නඅය කියන්නත් එපා. ඇත්තටම දුකයි. එතනත් පොලිතින් දාලා. ඒ මදිවට එන කණ්ඩායම් හූ කියනවා කෙළවරක් නෑ. වන සතෙක් නම් අහලකවත් නෑ. පරිසරයට හැඩගැහෙන්න බැරි බේබදු සංචාරක සංකල්පය දැන්වත් වෙනස් කරමු.

08/08/2020

ජල පෝෂකයේ කදුළු කතාව...

පට්ටිපොළ සිට ඔහියට රේල් හයික්සිංගිමලේ බිංගෙය නරඹපු අපි තව වන්දනාවක යන්න හිතාගෙන හැටන් ස්ටේෂන් එකේ බලාගෙන ඉන්නවා. රෑ වෙද්...
05/08/2020

පට්ටිපොළ සිට ඔහියට රේල් හයික්

සිංගිමලේ බිංගෙය නරඹපු අපි තව වන්දනාවක යන්න හිතාගෙන හැටන් ස්ටේෂන් එකේ බලාගෙන ඉන්නවා. රෑ වෙද්දී පට්ට සිතලයිනේ. ජර්සියකුත් නැති මම විවේක කාමරයේ දිග පුටුවක ටිකක් වෙලා කොම්බුව ගහගෙන ඉදලා සැරින් සැරේ ප්ලැට්ෆෝම් එක දිගේ ඇවිදිනවා. ඔය විදියට හරිහමන් නින්දකුත් නැතිව පැය ගණනාවක් කල්ප ගණනාවක් වගේ ගතවෙලා ගියා. බදුලු දුවන night mail කෝච්චිය හැටන්වලට එද්දී පාන්දර දෙක පහුවෙලා. ඔන්න ඉතින් දොරවල් ජනෙල් වහලා නිසා කෝච්චිය ඇතුලේ තරමක් රස්නෙයි. මීලගට කොහෙන්ද බහින්නේ.
ජීවිතේ විඳපු පට්ටම සීතලක් වින්දේ අඹේවෙලදී. කෝච්චිය පාන්දර 4 පහුවෙලා අඹේවෙල ස්ටේෂන් එකට ආවාට පස්සේ ධාරාණිපාත වර්ෂාවක් එක්ක පාන්දර හීතල ඩබල් වුණා. අඹේවෙල කියන්නේ ලංකාවේ ඉහලම උන්නතාංශයකින් තියෙන ස්ටේෂන් එකක්. කොහොමින් කොහොම හරි එළිය වැටෙනකම් මහතුන්ගේ විවේක කාමරයේ විරුවා පට්ටම් ගහගෙන ඉදපු අපි වැස්ස නතරවෙලා එලිය වැටෙද්දී අයිස් වතුරෙන් මූණ අතපය හෝදගෙන පට්ටිපොළ පැත්තට පයින්ම ඇවිද්දා. උණු එළකිරි හොයාගෙන Highland එකට ගිය අපිට ලැබුණේ සීතලම සීතල යෝගට්. එතනින් එහාට අපි පට්ටිපොළ දක්වා ආවේ බස් එකෙන්. පට්ටිපොළ ලංකාවේ ඉහළම උන්නතාංශයේ තිබෙන ස්ටේෂම. ඔහිය 3. හීනියට පැතිරෙන මීදුම් අස්සෙන් කෝච්චියක් පට්ටිපොළ පහුකරන් ගියා. අපේ සුදානම පට්ටිපොළ සිට ඔහියට රේල් හයික් එකක් කරන්න. දුම්රිය අධිකාරී නොසිටි නිසා කෝකටත් කියලා ස්ටේෂන් මාස්ටර්ට කියලා අපි ගමන ආරම්භ කළා. 8 km පමණ වෙන මේ ගමන ආරම්භ කරලා පොඩි දුරකින් අපිට හමුවෙනවා එක වැදගත් සන්ධිස්ථානයක්. ඒ තමා උඩරට දුම්රිය මාර්ගයේ උසම ස්ථානය, එහෙමත් නැත්නම් Summit Level එක. එය මුහුදු මට්ටමේ සිට 1898.1 m උසකින් පිහිටා තිබෙනවා. බිංගෙවල් මුණගැසෙන නිසාත් ඒවා ඇතුලේ සමහර සිල්පර කොටන් ලිස්සන සුළු නිසාත් මේ ගමන යද්දී ටෝච් දෙක තුනක් අරගෙන යන එක ඇඟට ගුණයි. කෝච්චිවල පැමිණීම ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඒවාට අමතරව මේ සීතල දේශගුණය දරාගන්න ජර්සි, අයිස්කැප් එහෙමත් වැදගත්. උඩරට දුම්රිය මාර්ගයේ වැඩිපුරම බිංගෙවල් හමුවෙන්නේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර බවත් මතක් කරන්න ඕනි.

මේ ගමන ඉතාම සුන්දරයි. කෝච්චි පාරේ වම්පසින් දිස්වෙන පහළ භූමි දර්ශනය කියන්න බැරි තරම් සුන්දරයි. රේල් පාලම්, බිංගෙවල්, යුකැලිප්ටස් වතු වගේම ස්වභාවික කඳුකර වනාන්තරයත් පසු කරගෙන අපි මේ ගමන යද්දී කදුකර වලස් වදුරෝ රැළකුත් අපිට සෙට්වුනා. ඒ Bear monkey, එහෙමත් නැතිනම් Semnopithecus vetulus monticola උප විශේෂය. අපි උදෑසනම ගමන් පටන් ගත්තු නිසා මහන්සියක් නැතිවම අපි ඔහියට ලගාවුනා.

අතරමගදී මුණගැසුණු දුම්රිය මාර්ග පරික්ෂාවේ යෙදෙන මාමලා දෙන්නෙක් අපිට සැරෙන් අවවාද කළේ මෙය නිසි අවසරයක් රැගෙන ආ යුතු ගමනක් බව පවසමින්. කෝච්චි පාරේ පයින් ඇවිදින එක නීතිවිරෝධී. අපි විනෝදෙට ගියාට විනාශකාරී එක පුද්ගලයෙක් කරන මෝඩ වැඩක් නිසා සිය ගණනක් අනතුරේ වැටෙන්න පුළුවන්.

ඔහියෙන් පසු අපේ මීලග නැවතුම ඇල්ල. ගමනේ සුන්දර තැන් පින්තූරවලින් බලාගන්න පුළුවන්.

ගාඩ්මෝර් දියඇලි සොයා... - https://www.facebook.com/preciousfoots/posts/144391417268093
සිංගිමලේ බිංගේ මැදින් - https://www.facebook.com/preciousfoots/posts/148514043522497

සටහන - නිලංග රණතුංග

01/08/2020

අවාරේ සිරිපා ගමන්...
මහවැසි මැද සීත ගඟුලේ අම්බලමෙන් පළමු දිනය අවසන් කිරීමට පාරිසරික සංචාරකයාට හැකිවුණා.

සිංගිමලේ බිංගේ මැදින්ගාඩ්මෝර් දියඇලි සංචාරයෙන් පස්සේ නැවතත් අපි හැටන් කරා ආවා. අපේ අරමුණ උඩරට දුම්රිය මාර්ගයේ තව තවත් ඉහ...
23/07/2020

සිංගිමලේ බිංගේ මැදින්

ගාඩ්මෝර් දියඇලි සංචාරයෙන් පස්සේ නැවතත් අපි හැටන් කරා ආවා. අපේ අරමුණ උඩරට දුම්රිය මාර්ගයේ තව තවත් ඉහළට ගමන් කිරීම. හැටන්වලින් සයිවර් පාරක් දාලා ස්ටේෂමට වෙලා කල් මරද්දී ආපු තවත් අදහසක් මෙන්න මේ විදියට ක්‍රියාත්මක වුණා. අපේ මීලග නැරඹුම, සිංගිමලේ කෝච්චි බිංගේ.

හැටන් ස්ටේෂන් එකේ සිට සිංගිමලේ බිංගෙය කරා තියෙන්නේ කිලෝමීටරයක පමණ දුරක්. අපි ස්ටේෂන් එකෙන් අපේ ගමන් මලු තියලා කෝච්චි පාරට පැනලා ගමන පටන්ගත්තා.

ඇයි? සිංගිමලේ බිංගෙය මෙතරම් සුවිශේෂී. අපි මේ නරඹන්න යන්නේ ලංකාවේ තිබෙන දීර්ඝතම කෝච්චි බිංගේ. උඩරට දුම්රිය මාර්ගයේ තිබෙන ගල් බිංගෙවල් 46 අතුරින් 562 m (1844 ft) දිග 5.5 m (18 ft) පළල මේ බිංගේ පයින් ගිහින් නැරඹුවේ නැත්නම් හිතට හරි නැහැ. බිංගේ වංගුවක් ඔස්සේ දිවෙන නිසා එහා මෙහා පෙනෙන්නේ නැහැ.

1865 - 1871 වැඩකරපු දුම්රිය අධ්‍යක්ෂ ජෙනරාල් ගිල්ෆ්‍රඩ් ලින්ඩ්සේ, මොල්ස්වර්ත් විසින් නිර්මාණය කරන ලදුව FW ෆෙවියෙල් විසින් ගොඩනගන ලද මෙම බිංගෙයට නම ලැබුණේ එයට ආසන්නව පිහිටි දෙමලෙන් සිංහ මලෙයි (සිංහලෙන් සිංහ කන්ද) නම් වූ කන්දක් නිසා බැව් පැවසෙනවා.

අපි සිල්පරෙන් සිල්පරේට මාරුවෙලා බිංගේ ආරම්භයට ආවා. බිංගෙවල් අංක 14. වැදගත්ම කාරණය මේ වෙලාවට කෝච්චියක් නොමැති වීම. දෙවෙනි දේ බිංගේ තුළ කට්ට කරුවල වීම නිසා අපි ළග ටෝච් තිබිය යුතු වීම. නැත්නම් සිල්පර අතරේ කකුල් ගිහින් අලි ජරමරයක් වෙන්න පුළුවන්. අපි විතරක් නෙවෙයි. ගමේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ හරහා තම නිවෙස් කරා යනවා. ඇතැම් තැන්වල බිංගෙයි වහලින් ඇදවැටෙන පුංචි වතුර පාරවල් එහෙම පහුකරගෙන අපි දිගටම සෑහෙන්න වෙලාවක් ඇවිදගෙන ගියා. කෝච්චි බිංගෙය තුළ වැහිලිහිණි පිරිලා. මේ ඉන්නේ කැදලි තුරිතයින්, එහෙමත් නැත්නම් Edible nest swift යනුවෙන් හදුන්වන වැහිලිහිණි විශේෂය. බිංගෙයි අදුර නිසා පින්තූර ගන්න තරමක් අපහසුයි. විනාඩි 18ක පමණ ගමනකින් පසු අපිට එළියක් දිස්වුනා. අපි බිංගෙයි අවසානයට ඇවිත්. අවසානයේදී වම්පසින් කෝවිලක් එහෙමත් පිහිටා තියෙනවා. ගොඩක් හවස්වෙලා තිබුණු නිසා සෙල්ෆියක් එහෙම ගහලා ආපසු හැරෙන්න හිතුවත් අපිව බය බිරාන්ත කරමින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් අපිව නැවැත්තුවා.

"මහත්තයලා කොහේද? ඇයි මෙහේ ආවේ?"

"අපි Tunnel එක බලන්න ආවේ. අපි කැම්පස්."

යන්තම් අපි හැමෝගෙම කැම්පස් ID පෙන්නුවාම තමයි තත්වය මදක් සමනය වුණේ. ප්‍රසාද්ගේ ID එක නැතිවෙලා තිබුණු නිසා ඒකටත් උත්තර බදින්න අපිට සිදුවුණා. පසුව ඒ පොලිස් නිලධාරීන් කිව්වේ මෙහෙම කතාවක්.
"අපි හැටන් පොලිසියෙන්. අපේ unit එකට දැන් ටිකකට කලින් call එකක් ආවා, චීනෙකුයි, ලෝකල් කිහිප දෙනෙකුයි tunnel එකේ වටපිට ටෝච් එක ගසමින් යනවා කියලා. මේ tunnelවල ඉන්න වැහිලිහිනින්ගේ කූඩු මිනිස්සු කඩනවා. කඩලා චීන්නුන්ට විකුණනවා. රට යවනවා. පැටව් හිටියොත් උන්ව විසික් කරනවා. මේ සත්තුන්ව රැකගන්න ඕනි නිසා අපි මෙහේ යන එන අය ගැන සැලකිල්ලෙන් ඉන්නේ."

අපිට පෙර සිදුවීම් කිහිපයක පින්තූරත් පෙන්වූ පොලිස් නිලධාරීන් මගේ කැමරාවේ තිබුණු පින්තූරත් පරික්ෂා කරලා අපේ සංචාරක වතගොතත් ඇසුවා. මගේ ලග තුරිත කූඩුවල පොටෝ නොතිබීමත් ඒ වෙලාවේ වාසනාවක් වුණා. පැමිණිල්ලට අදාලව කට උත්තර සටහන් කිරීමෙන් පසුවයි අපිට යන්න අවසර ලැබුණේ. නීති ප්‍රකාරව නම් රිමාන්ඩ් කලොත් මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කරනකම් ඇපත් නැහැ. අපි මෙම ජාවාරම ගැන දැනුවත් වුණේ එහෙමයි. මෙම පොලිස් නිලධාරීන් රටේ ජෛව විවිධත්වය සුරැකීමෙහිලා දක්වන කැපකිරීම ඉතාමත් අගය කළ යුතුයි.

තමන්ගේ ඛේටයෙන් කූඩු තනන මෙම අහිංසක කුරුල්ලාගේ වාසභූමි වනසා එම කුඩුවලින් සුප් හදලා බීලා ප්‍රෝටීන් ගන්න, මේ ලෝකේ ජාතක වූවන් ගැන සොබාදහම බලාගන්න ඕනි. උන්ට දඩුවම් කරන්න ඕනි. කූඩු බරිනුත් ඉතාම අඩු නිසා ජාවාරම්කාරයෝ සිය දහස් ගණනින් මේ කූඩු කඩා දමනවා. බොහෝ උඩරට බිංගෙවල් ආශ්‍රිතව මේ තත්වය පවතින් නිසා සංචාරකයින් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ අවධානය මෙන්ම සහය පොලිසියට මෙන්ම වනජීවී මහත්වරුන්ටත් අත්‍යවශ්‍යයි.
නැවත ගමනත් බිංගේ තුලින්ම ගිහින් නැවත ස්ටේෂන් එකට පැමිණි අපි පට්ට සීතලේ තවත් ඉහලට යාගන්න night mail කෝච්චිය එනකම් හිටියා. රෑ නින්දකුත් නැහැ. සීතලත් දැඩියි. අපේ මීලග නැවතුම අපි තවම හිතලා නැහැ.

මීලගට කොහේටද?

ගාඩ්මෝර් දියඇලි සොයා...- https://www.facebook.com/preciousfoots/posts/144391417268093

සටහන - නිලංග රණතුංග

20/07/2020

සුන්දර වර්ණගල දියඇල්ල

ගාඩ්මෝර් දියඇලි සොයා...කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ ඉගෙන ගනිද්දී අපේ සෙට් එකේ සංචාරක ගමන් බිමන් වැඩිවුණා. අවසාන වසර කා...
12/07/2020

ගාඩ්මෝර් දියඇලි සොයා...

කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ ඉගෙන ගනිද්දී අපේ සෙට් එකේ සංචාරක ගමන් බිමන් වැඩිවුණා. අවසාන වසර කාර්යබහුල විය යුතුව තිබූ නිසාවෙන් ලද සෑම විවේක සති අන්තවල කොහේහරි ඈතක ගිහින් ලකා ගසාගෙන ඉන්න එක අපිට පුදුම නිදහසක් මෙන්ම විනෝදය දනවන්නක් වුණා. මෙම සංචාරක සටහන විවෘත කරන්නේ තවත් එවැනිම සංචාරයක තොරතුරු බෙදාහදාගන්න. ගාඩ්මෝර් වතුයාය, මස්කෙළිය ජලාශයේ එක් අන්තයක සමනල කන්දට විරුද්ධ දිශාවෙන් පිහිටි සුන්දර වතුයායක්. ගමනට සහභාගී වුණේ මම (නිලංග), ශ්‍රිනිත්, ඉෂාර, දුලාන් සහ ප්‍රසාද්. සුපුරුදු පරිදි අපි ගමන ආරම්භ කළේ සරසවියෙන්. සරසවියෙන් මීරිගම දක්වා බස් එකේ ඇවිත් පොල්ගහවෙලට slow කෝච්චියක ගිහින් රෑ ජාමේ බදුල්ල කරා කන්ද නගින night mail කෝච්චිය අල්ලාගන්න අපිට පුළුවන් වුණා. පාන්දර 2 විතර වෙද්දී හැටන්වලට යාගන්න පුළුවන් වුණායින් පස්සේ අපි පට්ට සීතලේ එළිවෙනකම් විවේක කාමරයේ කල්මැරුවා. සීතල කියන්නේ සැපක් නෙවෙයි දුකක්. හැබැයි ඒ දේ වෙනස් විදියට විදගන්න පරිසරයත් ඉවහල් වෙනවා. කොහොමහරි ස්ටේෂමේ විවේක කාමරේ කහ පාට ලයිට් එකත් නිවුවාට පස්සේ කඩින් කඩ on off වෙන නින්දක් උරුම කරගන්න අපේ සෙට් එකට පුළුවන් වුණා.

හැටන්වලින් උදේට කාලා පාන්දරම මස්කෙළිය බස් එකෙන් මස්කෙලියටත් ආවා කියමුකෝ. අප යන්න ඕනි ගාඩ්මෝර්. මස්කෙලියේ සිට ගාඩ්මෝර් කරා මුළු දුර 16 kmකට ආසන්නයි. ගාඩ්මෝර් යන බස් එකේ ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ සාමිමලේ හරහා වගේම මස්කෙළිය ජලාශය වටෙන්. පොඩි city ride බස් එකක් ගමනට සූදානමින් මස්කෙළිය ස්ටෑන්ඩ් එකේ තියෙනවා. අපිත් බස් එකට අපේ ගමන්මලු, camping tent අරගෙන ගොඩවෙලා පිටිප්සසේ ආසනවලට බරවුණේ පැයක් එකහමාරක් යන ගමනට හරිබරි ගැහෙන්නයි. ගමන්මලුවල ජර්සි, අයිස්කැප්, කුඩැල්ලන්ට ප්‍රතිකාර, වියලි ආහාර, බෙහෙත් අනිවාර්යයි. මේ බස්රථ සේවා ක්‍රියාත්මක වෙන්නේ වතුකරයේ ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන්. බස් එකේ සෙනගින් සෑහෙන ප්‍රමාණයක් සාමිමලෙන් බහිනවා. මාර්ගයේ වම් පසින් වැසි කාලයට සක්‍රිය වන සිහින් දියඇලි ගණනාවක් ඇදහැලෙන දර්ශනය මාරම ලස්සනයි. වංගු වංගු පහුවෙද්දී පෙනෙමින් නොපෙනෙමින් යන මාර්ගයේ දකුණු පසින් පෙනෙන ශ්‍රීපාද ශිඛරයේ දසුනත් නොකියාම බැහැ. ගාඩ්මෝර් වතුයායට ඉහලින් පිහිටන්නේ සමනල කන්ද ස්වභාව රක්ෂිතය.

ඒ දවස් වැහි අදුරින් පිරිලා. අහස පුරාම පැතිරුණු වැහි මන්දාරම විටින් විට ඇදහැලෙන වර්ෂාවෙන් ටිකක් අඩුවෙනවා. මැයි මාසයේ සිට දෙසැම්බර් දක්වා මේ ප්‍රදේශවලට වර්ෂාව නොඅඩුව ලැබෙනවා. ඔන්න අපි ගාඩ්මෝර් හන්දියට ආවා. එතකොට වෙලාව 9.30ට විතර ඇති. ඒ දවස්වල ගාඩ්මෝර් පාර තරමක් සවුත්තුයි. හන්දියේ තියෙන තේ කඩය, ත්‍රිවිල් කිහිපය සහ ආයෙමත් මස්කෙලියට යන සූදානමින් නවතා ඇති බස්රථය සරල වතුකරයේ හන්දියක දසුන කියාපෑවා. අපි මිනිස්සුන්ගෙන් මග සලකුණු අහගෙන වැහි අදුර යටින්ම ගාඩ්මෝර්හි මනස්කාන්තම දියඇල්ල සොයාගෙන වල් වැදුණු වතුපාරක පල්ලම් බැස්සා. මීදුම් පටලයකින් වැසීගිය මස්කෙළිය ජලාශයේ ජල තලය අදුරු නිල්පැහැයකින් පළාතම වසාගන්නවා.

ගාඩ්මෝර් දියඇල්ලේ විශේෂත්වය එම දියඇල්ල මස්කෙළිය ජලාශයට ඇදහැලීමයි. ශ්‍රී ලංකාවේ සුවිශේෂීම පිහිටුමක් ඇති දියඇල්ලක් (30 m) ලෙස මෙම දියඇල්ල හදුන්වන්න පුළුවන්. දියඇල්ලේ ආසන්නයට යාමට අඩිපාරක් තිබුණත් දියඇල්ලේ පහලට ලගාවීමනම් කටු අකුල් කපාගෙන යා යුතු අසීරු ගමනක් වුණා. කිලෝමීටර් එකහමාරක් පමණ ගෙවාගෙන කොහොමහරි දියඇල්ල පාමුලට පැමිණීමේ කිසිම පාඩුවක් නොවුණේ එම දර්ශනය ඉතාමත් අලංකාර වූ නිසයි. නිල් පැහැ ජල තලයට ඇදහැලෙන සුන්දර දියඇල්ලේ දර්ශනය නරඹන තෙක් වර්ෂාවෙන් අපිට සමාවක් ලැබුණා. ජලාශයේ අනික් පසින් පැමිණ බෝට්ටුවෙන් ගිහින් මෙම ජලාශය නැරඹීමටත් හැකියාව පවතිනවා. අපේ විරුද්ධ දිශාවෙන් මරේ වතුයාය අපිට දිස්වෙන්නේ වැස්සෙන් නැවුම් බව එකතු වූ හරිත පැහැයෙන්. කුඩැල්ලන්ගෙන් නම් ගැලවීමක් නැහැ. ඇඟේ ඇදුම් උනා දමා යට ඇදුම් පිටින් ඉදන් කුඩැල්ලෝ අයින් කරපු දවසක් තිබුණානම් ඒ එදා තමයි.

ආයෙමත් ගාඩ්මෝර් හන්දියට ඇවිත් ඉහලින් ඇති ෆ්‍රොග්මෝර් ඩිවිෂන් කරා පිටත්වුණේ එහි ඇති අලංකාර දියඇලි නැරඹීමටයි. පැය කාලකින් විතර ටුක් එකකින් වතුයායේ ආරම්භය කරා ගිහින් එතැන් සිට පයින්ම ඉදිරියට ඇදෙද්දී වැසි සමයට සක්‍රිය වන සමනල කන්ද රක්ෂිතයේ දියවරින් පොහොසත් දියඇලි හතරක් අපේ නෙත ගැටුණා. ඒවා කරා ලගාවීමට වතුයාය කෙලවරින් විහිදෙන අඩිපාර ඔස්සේ පුළුවන්. ගාඩ්මොර්හි කඳුවලින් පිරි සුවිශේෂී භූ විෂමතාව මෙම දිය ඇලි සංකීර්ණ නිර්මාණය කරනවා. ශ්‍රීපාද රක්ෂිතය අපිට ඉහලින් කදු වසාගෙන පැතිරෙනවා. දැන් දවල් එකට කිට්ටුයි. වැස්සත් නොතකා සීතල වතුර පිරි දිය ඇල්ලකින් නාගෙන අපි ආයෙමත් හැරුනේ දිය ඇලි චාරිකාව නිමකර ගමනේ මීලග අදියරට පිවිසෙන්නයි. මේ ප්‍රදේශයට phone signal අඩු නිසා ආයෙමත් ටුක් එකක් ගෙන්නා ගන්නත් සෑහෙන කට්ටක් කන්න වුණා. හන්දියෙන් තේ බීලා බඩගින්න ටිකක් නිවාගෙන මීලග බස්රථයට ගොඩවී අපි ගාඩ්මෝර්හි සුන්දර සුවදායි පරිසරයෙන් සමුගත්තා. මෑතකදී කොටින් කිහිප දෙනෙක්ම මදුවලට හසුවී ජිවිතයෙන් සමුගත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිතවයි. වතුයායට එපිටින් ඇති වනසතුන් බහුල වනගහණය මැද වතු කම්කරුවන් ගතකරන්නේ කටුක ජීවිතයක්. මෙවන් වනසත්ව මිනිස් ගැටුම් නිසා මෙම අහිංසක දෙපාර්ශවයම වන්දි ගෙවනවා. අපි නැවත මස්කෙළිය හරහා හැටන් කරා එද්දී වැහි මන්දාරම තරමක් අඩුවෙලා. මීලගට කොයි අතටද?

මීලග ලිපියෙන් - සිංගිමලේ බිංගේ මැදින්

සටහන - නිලංග රණතුංග

Devil's staircase/ යකාගේ පඩිපෙළ තරණයඋඩවේරිය වතුයාය හරහා ඔහියටලංකා ඇල්ලේ ඉහත්තාව සුන්දර මිටියාවතින් වැසුණු හරිත පැහැ භූමි...
08/07/2020

Devil's staircase/ යකාගේ පඩිපෙළ තරණය

උඩවේරිය වතුයාය හරහා ඔහියට

ලංකා ඇල්ලේ ඉහත්තාව සුන්දර මිටියාවතින් වැසුණු හරිත පැහැ භූමියක්. ඒ වෙද්දී දවල් එකොළහට කිට්ටුයි. අපේ සෙට් එක වතුරට බැසීමේ අවස්ථාව නම් කෙලෙසකවත් මගහැර ගත්තේ නැහැ. පටු දිය පහරක් වුවත් වතුර ඉතාම සීතලයි. දවසින් ගමන නිමාකිරීමට බලාපොරොත්තු වූ නිසා පොඩි පොඩි කෑම ජාති තමයි අපේ ලග තියෙන්නේ. ඇතිවෙනකම් නාලා තියෙන දෙයක් කාලා නැවත ගමන් ආරම්භ කරද්දී එකට කිට්ටුයි. අපේ දිවා නැවතුම හැර යාමට නොසිතෙන සුන්දර නැවතුමක් බව මේ සමග ඇති චායාරූප ඔබට පෙන්වාවි.

ආයෙමත් අපි යකාගේ පඩිපෙළ වතු මාර්ගය සොයාගන්න ඕනි. පැගිරි මානා අතරින් විහිදෙන අඩිපාරවල් ඔස්සේ අපි ඉහළට ගමන් කළා. නමුත් නොසිතූ ලෙස එක අවස්ථාවකදී මාර්ගය වනයට ඇතුල්වී අවසන් වූයේ අප ආ මග වැරදි බව අපිටම පසක් කරමින්. නමුත් දිය දහර ඔස්සේ ඉහලට යනවිට නෙත ගැටුණු ලස්සන දසුන් එමටයි. වෙලාව දෙකටත් කිට්ටුයි. අපි නැවත ආපසු ඇවිත් අඩිපාරවල් නොතකා පැගිරි මානා ගාල මැදින් ඉහලටම ඇවිද ගියේ කුමන මොහොතක හෝ අපිව හරි පාරට වැටේවි යන අපේක්ෂාවෙන්. වැඩි වෙලාවක් නොගොස්ම අපි නැවතත් වල් බිහිවූ වතු මාර්ගයකට අවතීර්ණ වුණා. එම අතහැර දැමූ පාරේ කිලෝමීටරයකට ආසන්න දුරක් ගිහින් වතු නිවාස පෙළක් මැද්දෙන් ගොඩවෙලා නැවත යකාගේ පඩිපෙළට අවතීර්ණ වෙද්දී හවස දෙකට කිට්ටුයි. දැන් අපි පිවිසිලා සිටින්නේ උඩවේරිය වතුයායේ ආරම්භයට. ඇදිරි වැටෙන්න මත්තෙන් අපි යා යුතු දුර 12 kmවලට වැඩි මිසක් අඩු නෑ. දැඩි මද්දහනේ පාද චාරිකාවේ නිරතව විඩාපත්වෙලා සිටි අපේ සෙට් එක අවට සුන්දරත්වය නරබමින් හැල්මේ ගමන් කරන්න ගත්තා. කොච්චර අව්ව සැර වුණත් කදු මුහුණත් පිසගෙන එන සීතල සුළග අපේ මහන්සිය නිව්වා.

මුළු ගමන පුරාවට මෙන්ම අද එම මතක සටහන් මෙනෙහි කරද්දීත් මට නිතර සිහිපත් වන්නේ වතු නිවාස එහෙමත් නැත්නම් වතු ලැයිම්වල මිනිස්සු ගතකරන දුෂ්කර ජීවිතයි. ඔවුන් දැන හෝ නොදැන ඔවුන් මේ විදිනා කටුක ජීවිත හරහා අපේ රටට විදේශ විනිමය ලැබෙනවා. නමුත් අපේ පින්තූර රාමුවලට කොටුවෙන ජීවිත එම සුන්දර පරිසරයට එකතුවෙලා ලස්සන මතක විතරක් අපිට ඉතිරි කළා. එම වතු කම්කරු ජීවිත වෙනුවෙන් අපි අපගේ ප්‍රණාමය පුදකරනවා. සිය මුළු ලෝකයම වුණු වතුකරයත්, තේ දල්ලත්, ලැයිමත්, රොටියත් අතර දෝලනය වන පොඩි දරුවෝ කිහිප දෙනෙක්ම ලැජ්ජාව මුසු හිනාවෙන් කැමරාව තුළ ලැගුම් ගත්තා. මේ පාරේ යන්න පුළුවන් 4WD වාහනේකට, ලොරියකට, බයික් එකකට විතරයි. අපිත් නයෙක් වගේ වත්තේ ඉහත්තාවට විහිදෙන පාරවල් ඔස්සේ ඉදිරියටම ඇදෙනවා. නෙත ගැටෙන පහතරට භූ දර්ශන වරෙක මීදුමින් , වැසි වලාකුලින් වැසී ගියත් යළි ඉක්මනින් පැහැදිලි වෙනවා. උඩවේරිය වත්තේ මැද හරියකදී අපිට හින්දු කෝවිලක් හමුවුණා. එතනින් එහාට ආයෙමත් වතු ලැයිම්. තව සෑහෙන්න දුරක් ඉතිරිව තිබුනත් අපි ගිමන් හරින එක තුරු සෙවණකදී අලුත් මිත්‍රයෙක් හමුවුණා. අවාසනාවකට මට දැන් ඔහුගේ නම මතක නැහැ. ඔහු වත්තේ වැඩ කරන දෙමළ තරුණයෙක්. අපි වගේම ඔහුත් ඔහියට ගිහින් night mail කෝච්චිය අල්ලා ගන්න බලාපොරොත්තු වුණා. පසුවදා ඔවුන්ගේ අවුරුද්ද, ඒ කියන්නේ දීපවාලි. ඔහු බිරිද ඇතුළු සිය දරුවන් සමග අවුරුදු සැමරීමට නාවලපිටිය බලා යනවා.

වෙලාවට ගමන නිමකරගැනීමට හැකිවේදෝයි සැකයෙන් ගමන ගිය අපේ නඩයට ඔහුගේ ආදේශය ශක්තියක් වුණා කිව්වොත් නිවැරදියි. ඔහු සිය ගමරට බලා යාමට පැය හතරක් පමණ පයින් ඇවිදලා කෝච්චියෙනුත් යන්න ඕනි. අදහන්න වටිනා ජීවිත. වත්තේ මිනිස්සු නගරයට යන්නේ ලොරියක බවයි ඔහු අපිට කිව්වේ. ඔවුන්ට මේ වගේ හදිස්සි ගමන්, වරුවක පා ගමනක් බවයි ඔහුගේ කතාවෙන් අපි තේරුම් ගත්තේ.

යකාගේ පඩිපෙළ කියන්නේ ලග ලග වංගු නැවෙන බෑවුම් මාර්ගයක්. එතැන් සිට පහළ මිටියාවත ඉතාම ලස්සනට දිස්වෙනවා. දැන් සැහෙන්න හවස් වෙලා. අපිට මග පෙන්වමින් ගමනේ පෙරමුණ ගත් දෙමළ තරුණයාගේ උදව්වෙන් ෂෝට් කට් කීපයක් හරහා ගමන තවත් කෙටි කරගන්න අපිට පුළුවන් වුණා. උඩවේරිය වත්තේ අවසානයෙන් පසු අපි එලබුනේ රක්ෂිත වනාන්තරයට. කැලේ කදුකර කොටිත් ඉන්නවා. බලාගන්න ලැබුණොත් වාසනාවක් කියලා මගේ හිත කියනවා. ඕවා කියලා අනික් එවුන්ව බය කරන්නත් බැහැ. ඒ ඔස්සේ ගමන් කරද්දී හොදටම කරුවල වැටුණා. ෆෝන් ටෝච් ආධාරයෙන් ඔහිය සිට හෝර්ටන් තැන්න කරා දිවෙන පාරට අපි ඇදිරියත් අරගෙනම අවතීර්ණ වුණා. මීදුමත් හෙමීට පහළ බසිනවා. වාසනාවකට වගේ මීදුම කපාගෙන වාහනයක් එනවා. ඒ වාහනයේ සිටියේ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු වනජීවී නිලධාරියෙක්. ගමනේ අවසන් කිලෝමීටර් කිහිපය අපි ඔහුගේ උපකාරයෙන් ගෙවා නිමකර ඔහියට ආවයි කියමුකෝ. දැන් සීතලත් එක්ක පට්ට බඩගිනි. ගාමිණී අයියගේ කඩෙන් සුපුරුදු පරිදි රොටී කාලා ප්ලේන්ටියක් බීලා අපේ සෙට් එකම night mail කෝච්ච්ය එනකම් වෙලාව ගැන්නා.

ජර්සියක්වත් නැතිව එදින සීතලේ සැප මෙන්ම දුකද මම හොදහැටි අවබෝධ කරගත්තා කිව්වොත් නිවැරදියි. දීපවාලිවලට ගම්බිම් කරා යන සෙනග පිරුණු කෝච්චියේ එල්ලිලා සීතල කදුකරයෙන් පල්ලම් බැස්සේ එහෙමයි. අපේ හිතවත් මාර්ගෝපදේශකයා නාවලපිටියේදී අපෙන් සමුගත්තා. යකාගේ පඩිපෙළේ ගමනත් සුන්දර මතක සටහන් ඉතිරි කළ වග කියන්නම ඕනි.

බඹරකන්ද දියඇල්ල සහ ලංකා ඇල්ල දක්වා.. - https://www.facebook.com/preciousfoots/posts/139068181133750

සටහන - නිලංග රණතුංග

Devil's staircase/ යකාගේ පඩිපෙළ තරණයබඹරකන්ද දියඇල්ල සහ ලංකා ඇල්ල දක්වා..මෙතෙක් මම ඔබ වෙත ගෙනා බොහොමයක් සංචාර තොරතුරු සරස...
29/06/2020

Devil's staircase/ යකාගේ පඩිපෙළ තරණය

බඹරකන්ද දියඇල්ල සහ ලංකා ඇල්ල දක්වා..

මෙතෙක් මම ඔබ වෙත ගෙනා බොහොමයක් සංචාර තොරතුරු සරසවියේ මගේ රූමලා සෙට් එකත් සමග කළ රසබර ගවේශන සහ සංචාර ලෙස දක්වන්න පුළුවන්. දැන් සරසවිවල තත්වය කොහොමදැයි කියා මම දන්නේ නැතිවුණත් මීට වසර දෙකකට පෙරදී නම් අධ්‍යාපනයට සමගාමීව මේ වගේ සංචාරක අත්දැකීමක් විදගන්න තරම් නිදහසක් අපිට තිබුණා. අපි ලංකාවේ කොහේ හරි කෙළවරක ලස්සන තැනක් හොයාගෙන පයින්ම යද්දී දේශන, අහම්බෙන් තියෙන quiz වගේ දේවල් මග හැරුණු අවස්ථා එමටයි. නමුත් වසර ගණනාවක් ඉස්සරහට ගිහින් ආයෙමත් ඒ මතක ආවර්ජනය කරද්දී ඒ හැමදේම දුක දශමයක්වත් ගෑවිලා නැති රසබර මතක විදියට ඔළුගෙඩිය ඇතුලේ තියෙන බව දැනෙනවා. දැන් ඒ කාලේ වගේ අපේ එවුන්ට ට්‍රිප් යන්න විවේකයක් නැහැ. ඒ බව සරසවියේ අන්තිම අවුරුද්දේ in plant training කාලේ ගියපු මේ සංචාරය අපිට පොඩි අනාවැකියක් ඉදිරිපත් කළා. රැකියා, නිවාඩු ප්‍රශ්න, තම තමුන්ගේ අරමුණු එක්ක හැමෝම එකතු කරගෙන මේ වගේ ගවේෂණ කරන්න ඉඩකඩ අඩුවුණත් එක රිද්මයක් තියෙන එවුන්, travel උණ තියෙන එවුන් ලෝකේ කොහේදී හරි ඉක්මනට සෙට් වෙනවා. ඒ නිසා කාලය අපතේ නොයැවීමයි වඩා වැදගත්. අද ගතකරන ජිවිතේ කෙතරම් අභියෝගාත්මක වුවත් හෙට නැවත මතක් කරද්දී ඒ ජීවිතේ සුන්දර රසබර මතකයක් කරගන්න අපි මහන්සි වෙන්න ඕනිමයි.

මේ බදුල්ල දිස්ත්‍රික්කය. යකාගේ පඩිපෙළ කියන්නේ කළුපහන සිට උඩවේරිය වතුයාය හරහා ඔහියට තිබෙන වතු පාරේ හමුවන එක් කොටසක්. නමුත් අපි හැමෝම මේ මුළු ගමනම අර්ථවත් කරන්නේ යකාගේ පඩිපෙළ එහෙමත් නැත්නම් Devil's staircase යනවා යනුවෙන්. 24 km පමණ දුරකින් යුතු මේ ගමන පයින් යන්න තමයි බොහෝ සංචාරකයෝ කැමති. සාමාන්‍ය වාහනයකින් යන්න බැරිවුණත් 4WD ජීප් එකකින් හරි මෝටර් සයිකල්වලින් හරි මේ සුන්දර දුෂ්කර වතු මාර්ගය තරණය කරන්න පුළුවන්. ඔහිය දෙසට කන්ද තරණය කිරීම වගේම කළුපහන දෙසට පල්ලම් බැසීමද යන කරුණ මත දිශානතිය තීන්දු කර ගැනීම ඔබට බාරයි. අපි තෝරාගත්තේ ඔහිය දෙසට කන්ද තරණය කිරීම. මුහුදු මට්ටමේ සිට කළුපහන පිහිටා තිබෙන්නේ 846 m උසකින්. ඔහිය මුහුදු මට්ටමේ සිට 1774 mක උසකින් පිහිටා තිබෙනවා. ඉතින් අපි මේ ගමන පුරාවට 928 mක උන්නතාංශයක් තරණය කරනවා.

මම (නිලංග), ශ්‍රිනිත්, ගයාන්, දුලාන්, දිල්ෂාන් මේ ගමනේ සෙට් එක. සේනා සංවිධානයට වඩා ගමනට දිනයක් දාගන්න එක අමාරු වුණා. ගමනේ collection එක පොඩි ගානක්. කොටුවෙන් බදුල්ල බස් එකක නැගලා රාත්‍රියේම කලුපහනට අදින්නයි අපේ සැලසුම. එය ඉතාම වැසිබර සිකුරාදා රාත්‍රියක්. සීටීබී ස්ටෑන්ඩ් එකේ canteen එකෙන් කඩචෝරුවක් කාලා අපි සෙට් එක මගී පෝලිමට සෙට් වුණා. සිකුරාදා නිසා සෙනග වැඩියි වගේම අපි මගින් බහින නිසා බස් එකට නැගලා වාඩි වෙන්නත් තහංචි. ඔන්න යන්තම් වැලිමඩ බස් එකක් ඇවිත් අපිට පොඩි චාන්ස් එකක් සෙට් වුණා. වෙලාව පාන්දර දෙකයි. කොන්දොස්තරට අපිව කලුපහනින් හලාගෙන යන්න කියලා නඩේ හැමෝම කළේ නිදාගන්න එක. විඩාපත් ශරීර එක්ක hiking කරන්න බැහැනේ. කියන්නත් සතුටුයි, උදේ වෙද්දී අපි කලුපහනින් බැහැලත් ඉවරයි. බස් එක අභ්‍යවකාශ ගතවෙලා ලෑන්ඩ් කළා වගෙයි අපිට තේරුණේ.

ගමනේ ආරම්භය, බඹරකන්ද දියඇල්ල කරා විහිදෙන, ප්‍රධාන පාරෙන් වම්පස ඉහලට දිවෙන මාර්ගය. යකාගේ පඩිපෙළ මාර්ගයේ හමුවන සුන්දර එමෙන්ම නැරබිය යුතුම තැන් දෙකක් තමයි බඹරකන්ද දියඇල්ල සහ ලංකා ඇල්ල. උදෑසන සිසිලත් එක්කම ගමන ඇරඹූ නිසා මහන්සියක් නැතිවම ගන තුරු වියන් යටින් තේ වතු මැදින් අපි ඉදිරියටම ඇදුනා. මේ මාර්ගයේ ඔස්සේ ගිහින් වංගෙඩිගල තරණය කිරීමටත් පුළුවන් වගේම ඒ වෙනම සංචාරයක්. සුන්දර දියපාරක් හමුවුණු පළමු තැනදී එය අපේ විවේක ස්ථානයක් බවට පත්වුණේ නිතැතින්මයි. අපි පයින්ම ගමන යද්දී කිසිම රසබර තැනක් අපිට මග හැරුනේ නැහැ. ඔන්න අපි බඹරකන්ද දියඇල්ල පෙනෙන මානයට ආවා. ආරම්භයේ සිට මේ දක්වා දුර 4 km පමණ වෙනවා. ඇල්ල පේන මානයේ පොඩිපහේ තේ කඩේකින් කටදන ළූණුමිරිස් එක්ක පොල් රොටී කාලා ප්ලේන්ටි බීලා අපි වම්පසට විහිදුණු අඩිපාර ඔස්සේ ඇල්ල පාමුලට එන්න පිටත් වුණා. විශාල පර්වතයකින් පහලට කඩා හැලෙන 263 m උස බඹරකන්ද දියඇල්ල පුළුල් නැතිමුත් ඉතාමත් මනස්කාන්ත දියඇල්ලක්. ලංකාවේ උසින් අංක 1 හිමි දියඇල්ල මෙය වෙනවා. දියඇල්ල පාමුල පිහිටි වේදිකාවේ සිට නරඹන දර්ශනයට වඩා ඈතින් පෙනෙන සුන්දර භූමි දර්ශනය මනස්කාන්තයි. නමුත් අවාසනාවකට දියඇල්ලේ පෝෂකය පයිනස් වනවගාවලින් ආවරණය කර තිබෙන්නේ බොහෝ කාලයක සිටයි. දියඇල්ලේ වතුර වැඩි කාලයට ඇල්ල පාමුලට යාමත් ඉතාම අවදානම්.

බඹරකන්ද දියඇල්ලෙන් නික්මුණු අපි පයිනස් කැලේ මැදින් වම් පසට විහිදුණු කදුකර අඩි පාරට ප්‍රවේශ වුණා. ඒ අවට පරිසරය මට මතක් කළේ නමුණුකුල තරණයේදී හමුවන පරිසරයමයි. දැඩි බෑවුමකින් පසු හමුවන එක මාර්ගයක් බඹරකන්ද දියඇල්ලේ ඉහත්තාවට පාර කපනවා. නමුත් ගමන් යාමට තහංචි පනවපු පුවරුවක් එතන තිබුණා. එතන දර්ශනය ඉතා සුන්දර බවත් සුළං පහර හිතනවාටත් වඩා සැර බවත් මම අහලා තියෙනවා. එතනින් අපි තෝරාගත්තේ ලංකා ඇල්ල කරා විහිදෙන පල්ලම් බසින අඩිපාර. පැගිරිමානා ගාල් මැද්දෙන් ගිහින් කැලේට රිංගලා අපි ලංකා ඇල්ල පාමුලට ආවා. 32 mක බෑවුමකින් ඇදහැලෙන ජලදහර පොඩි වතුර තටාකයක් නිර්මාණය කරනවා. එම තටාකයේ දියනානවානම් පරිස්සම් විය යුතුයි. මොකද ටිකක් අවදානම්. මේ දර්ශන සෑම එකක්ම ගමනට එක්කරන්නේ අමිල වටිනාකමක්. දැන් අපේ අරමුණ ලංකා ඇල්ලේ ඉහත්තාවට යාගන්නයි...

මීලග ලිපියෙන් - උඩවේරිය වතුයාය හරහා ඔහියට

සටහන - නිලංග රණතුංග

රඹුක්කනින් කඩුගන්නාවට සිල්පර කොටන් මතින් (දින 2)කඩුගන්නාව බලා ගමනේ යා..මුළු දවසක් පුරාවට සිදුකළ 15 kmක සංචාරයක් කොටස් තු...
27/06/2020

රඹුක්කනින් කඩුගන්නාවට සිල්පර කොටන් මතින් (දින 2)

කඩුගන්නාව බලා ගමනේ යා..

මුළු දවසක් පුරාවට සිදුකළ 15 kmක සංචාරයක් කොටස් තුනකින් ඔබ වෙත ගෙන ඒමට සිදුවුණේ රස පොඩ්ඩක්වත් අඩු නොකර තොරතුරු වැල් වටාරම් දශමයකින්වත් අඩු නොකර ඔබට කියන්න තිබුණු උවමනාව නිසයි. අපේ ගමනේ දෙවැනි මෙන්ම අවසාන දවස ආරම්භ කළේ බලන කොටුවෙන්. බලන කොටුව, කඩවත කොස් ගස දැකබලාගෙන සිරිසේන මාමාටත් නැන්දාටත් සමුදීලා අපි නැවත කෝච්චි පාරට බැස්සා. වැඩි දුරක් යෑමට මත්තෙන් අංක 09 බිංගෙය මුණගැසෙනවා. මහා පර්වත තුලින් උමං නිර්මාණය කර නිර්මාණය කළ උඩරට දුම්රිය මාර්ගය සැබැවින්ම විස්මයජනක නිර්මාණයක්. කලින් ලිපියක කිව් ආකාරයට බිංගෙවල්වල අන්ධකාරය තුලින් ඇදෙන මේ ගමනට ටෝච් දෙක තුනක් එක්කරගන්න නම් අමතක කරන්න එපා. කෝච්චිවල දෙදරුම් සහිත ගමන නිසා රේල්පිලිවල ඇන මුරිච්චි බුරුල්වෙනවනේ. ඉතින් අඩි දෙකක් විතර දිග යතුරකුත් අරගෙන ඇන මුරිච්චි තද කරන්න යන දුම්රිය මාර්ග පරීක්ෂක මාමා කෙනෙක් අපිට මුණගැසුණා. කම්මැලිකම දුරලීමට අපි ඔහුත් සමග මද වේලාවක් දොඩමලු වුණා.

බලන සිට කඩුගන්නාව කරා පයින්ම යන අද දවසේ චාරිකාවේ සුවිශේෂීම සන්ධිස්ථානය තමයි, සිංහ කට නමින් හැදින්වෙන පර්වතය. කෝච්චි පාර හදන්න දාපු ගල්බෝර නිසා සිංහ කටක ස්වරූපයක් ගත්තු එම පර්වතය ආසන්නයේ දුම්රිය මාර්ගයේ දකුණු පස දර්ශනය ඉතාමත් අලංකාරයි. කඩුගන්නාවට කිට්ටු වෙද්දී පහලින් පෙනෙන ගිරි දුර්ගය හෙමි හෙමින් තරණය කරන වාහන ගිනිපෙට්ටි වගේ අපට පෙනෙනවා. දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් පෙනෙන ඩෝසන් කුලුන අපි කඩුගන්නාව නගර සීමාවට එළබි බව පසක් කළා. උදෑසන නැවුම් ප්‍රබෝධයත් එක්ක එම අවසන් 5 km අපි ගෙවා දැමුවේ ඉතාම ඉක්මනින්. සිල්පරෙන් සිල්පරේට පියවර මැනපු ඉතාම අලංකාර රේල් හයික් එකක් අපි ලස්සනට නිමා කළා.

කඩුගන්නාවේදී අපේ අවධානය දිනාගත් ස්ථාන කීපයක්ම තිබෙනවා. කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය තමා අපේ මුල්ම අවධානය. ඒ ඇවිල්ලා 'ජාතික දුම්රිය කෞතුකාගාරය'. කෝච්චි කෙරුවාව ගැන දන්නා අයටත් නොදන්නා අයටත් එකසේ වැදගත්වන තොරතුරු සහ දර්ශන එහි ඇතුලත්. පරණ කෝච්චි එන්ජින්, දුම්රිය ඉතිහාසයේ වැදගත් සංකේත, පැරණි දුම්රිය මාර්ග සංඥා , පැරණි දුම්රිය එන්ජින්වල කොටස්, අතීතයේ දුම්රිය රාජකාරි සහ දුම්රිය මාර්ග පරික්ෂාවේ නියුතු සේවක මහතුන් භාවිතා කළ විවිධ උපකරණ, ලාම්පු, සන්ඩයල්, පැරණි ටෙලිග්‍රාෆ් යන්ත්‍ර, ටැබ්ලට්, පැරණි දුම්රිය ස්ථාන නම පුවරු මෙහිදී අපේ නෙත ගැටුණා. කෞතුකාගාරයේ ඇවිදලම මගේ ප්‍රථම රේල් හයික් එකේදී සෑහෙන්න තොරතුරු ගොඩක් මම දැනගත්තා.

එතනින් පිටත්වෙලා කඩුගන්නාව ටවුමෙන් තේ බීලා අපි මීලගට පියමැන්නේ කැප්ටන් ඩෝසන් වෙනුවෙන් ඉදිකර ඇති ඩෝසන් කුලුන වෙතටයි. A1 පාරේ ගමන් කරන කාටත් ඩෝසන් කුලුන අමතක නොවන මග සලකුණක්. අධිරාජ්‍යවාදී යුගයේ සර් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයේදී මහනුවර දක්වා ඉදිකළ මාර්ගයේ ප්‍රධාන සැලසුම්කරු මෙන්ම ඉන්ජිනේරුවරයද වූ කැප්ටන් W.F. ඩෝසන් සිහිකිරීම පිණිස මෙම ස්මාරකය කඩුගන්නාව නගර පිවිසුමේ ඉදිකර තිබෙනවා. ඒ 1832දී. කැප්ටන් ඩෝසන් 1829 මාර්තු 28 කොලඹදී මියයනවා.

ඒ මොහොතේ අපි චුට්ටක් විතර අවාසනාවන්තයි. කුලුනේ මුරකරුවා සිටියේ නැති නිසා කුලුනට ගොඩවෙලා හාත්පස දර්ශනය නැරඹීමේ අවස්ථාව අපිට අහිමි වුණා. කුලුන පාමුලට වී විඩාව සන්සිදුවාගෙන අපි මීලගට 1.5 km පමණ ප්‍රධාන පාරේ පහලට ඇවිද ගියේ කලකට ඉහතදී වාහන ගමන් කළ දැන් ස්මාරකයක්ව පවතින කඩුගන්නාව ගල් බිංගේ බලන්න. බස් එකෙන් කොච්චර ගිහින් තිබුණත් පයින්ම ලගට ගිහින් බැලුවාමනේ වැඩිපුර අගයක් තියෙන්නේ.

නැවත ගමනත් කඩුගන්නාවට ගිහින් කෝච්චියෙන්ම සිදුකරන්නයි අපේ සූදානම. කෝච්චි time table එකෙන් කෝච්චියක් තියෙනවාද බලලා අපි ඒකේ එල්ලිලා අපි මෙයාකාර රස වින්ද රේල් හයික් කරපු මුළු දුරම ඉතාම වේගයෙන් පැය බාගයකින් පසුකළා. සිංහ කට, බතලේගල, බලන, භයංකාර ගල, ඉහලකෝට්ටේ, මීනගල්ල බිංගේ, අලගල්ල කන්ද, උතුවන්කන්ද, ගංගොඩ, කඩිගමුව, පහුකරගෙන කෝච්චිය පහතරට භූමියට අවතීර්ණ වුණා. බලන්න වටිනා තැන් කීයක් නම් අපේ ගමන්වලදී අපිට මග හැරිලා ඇතිද? අපේ රටේ ගවේෂණය කළ යුතු තැන් එමටයි. තවත් රේල් හයික් එකක තොරතුරු සමග නැවත හමුවෙමු.

කඩිගමුව ස්ටේෂමට (පළමු දවස) - https://www.facebook.com/preciousfoots/posts/133290085044893
කඩිගමුවෙන් ඉදිරියට - https://www.facebook.com/preciousfoots/posts/135422411498327
ජීවිතයේ මුල්ම කදවුරු රාත්‍රිය පිටිසර නිවසක මිදුලක...- https://www.facebook.com/preciousfoots/posts/136738028033432

සටහන - නිලංග රණතුංග

රඹුක්කනින් කඩුගන්නාවට සිල්පර කොටන් මතින් (දින 2)ජීවිතයේ මුල්ම කදවුරු රාත්‍රිය පිටිසර නිවසක මිදුලක...ගොම්මන් කරුවල අතරින්...
23/06/2020

රඹුක්කනින් කඩුගන්නාවට සිල්පර කොටන් මතින් (දින 2)

ජීවිතයේ මුල්ම කදවුරු රාත්‍රිය පිටිසර නිවසක මිදුලක...

ගොම්මන් කරුවල අතරින් අපි නොසිතූ ලෙස පුංචි මැටි ගෙපැලක් මතුවුණා. ඒ නිවසේ වාසය කළේ වයසක මාමා කෙනෙක් සහ නැන්දා කෙනෙක්. අපි දෙන්නව දැක්කාම ඒ අයත් නොවැරදීම බය වෙන්න ඇති. මද වේලාවක් ප්‍රශ්නාර්ථකාරී ලෙස බලාගෙන ඉදලා, මාමා අපිත් එක්ක දොඩමළු වුණා.

'මහත්තුරු කොයි පළාතේද? මේ ගොම්මනේ කොහෙද යන්නේ?'

මාමේ, අපි කැම්පස් එකේ. අපි රඹුක්කන ඉදන් කඩුගන්නාවට කෝච්චි පාර දිගේ පයින් යනවා. අද බලන කොටුවේ රෑ නතර වෙන්න යන ගමන්'

'බුදු අප්පොච්චියේ' අපේ ගමන් විස්තරය අහපු නැන්දාගේ කටින් ඉබේටම එහෙම පිටවුණා. 'මේ එන්නේ රඹුක්කන ඉදන්ද'

'පුතේ, මේ කන්දත් නැගලා තවත් දුර යන්න ඕනි බලන කොටුවට. පුතාලට මේ කරුවලේ පාර හොයාගන්න බැහැ. අනික ඒ හරියේ රෑට වල්ඌරු රංචු ගැවසෙනවා.'

ඒ කීමත් එක්ක අපි දෙන්නා උත්තරයක් හොයාගන්න බැරිව කල්පනා කළා. කියන හැටියට ගමනත් අවදානම්. පාර දන්නෙත් නැහැ. සේරටමත් වඩා කරුවල. ඒ වරිච්චි බිත්ති ගහපු කාමර දෙකක් විතර තියෙන පුංචි පැල්පතට විදුලිය නැහැ. කුප්පිලාම්පු එකක් දෙකක් ගේ ඇතුලේ දැල්වෙනවා.

'පුතාලා අද අපිත් එක්ක මේ ඩිංගේ තියෙන දෙයක් කාලා බීලා ඉදිමු. හෙට යන්න පුළුවන්නේ කොටුව බලන්න.'

මේ වයසක දෙපලට වදයක් වෙන්නත් බෑ. ගේ ඇතුලේ ඉඩකඩක් ඇති බවක් පෙනෙන්නෙත් නැහැ. ඒ නිසා අපි දෙන්නා නිවසේ මිදුලෙන් ඔවුන්ගේ ඉල්ලීම පරිදි අපේ කුඩාරම සකස් කරගත්තා. ජිවිතේ පළවෙනිම කුඩාරම් රාත්‍රිය ඔන්න ඔය විදියට සීතල කදු ගැටයක පුංචි පැල්පතක මිදුලේ ගතවුණා. මදක් එපිටින් වූ ළිදෙන් වතුර බාල්දි ටිකක් ඇගට හලාගත්තාම විඩාව අතුරුදහන් වෙලා ගියා. අපි වෙනුවෙන් රෑ කෑම හදන්නත් ඒ යුවල මහන්සි වෙලා. අපි රෑ කෑමට ගෙනාපු පාන්, නුඩ්ල්ස් පැකට් එයාලට දීලා බෙදාහදාගෙන ඒ ඉතාමත් රසවත් රාත්‍රී ආහාරය භුක්ති වින්දා කිව්වොත් නිවැරදියි. නොදන්නා අපිට පෙන්වූ ආගන්තුක සත්කාරය ගැන අපි ඔවුන්ට කෘතඥ වුණා.

ඒ බැඳීම සෑහෙන්න ශක්තිමත් බව ඉන්පසු දෙතුන් වරක්ම ඔවුන්ගේ දුක සැප බැලීමට අපි යාමෙන් පැහැදිලියි. ඒ මාමගේ නම සිරිසේන. අපිට වඩා පොඩ්ඩක් වයසින් බාල ඔහුගේ මුණුපුරා නිසා ඔහු අපිත් එක්ක සෑහෙන්න ලෙන්ගතු වුණා. කාලෙකින් ඒ පැත්තේ ගියේ නැහැ. අපි අන්තිම වතාවේ යද්දී ඒ මාමලා පැල්පතින් ඉවත්ව බලන කොටුව පාමුල නිවසක පදිංචියට ගොස් තිබුණේ මුල් පැල්පත දිරාපත් වීම නිසයි.

එදින රාත්‍රිය තරු පිරුණු රැයක්. අපේ වැසි ආවරණයක් නැති දෙදෙනෙකුට පමණක් ඉඩකඩ ඇති පොඩි කුඩාරමේ ඉහලින් ඇති දැල් ආවරණය හරහා අපිට තරු පිරුණු අහස පෙනෙනවා. එදා වැස්සේ නැති එක හොදට ගියා. නින්ද මදකට නැවතුණේ රාත්‍රී බදුලු තැපැල් දුම්රිය හූ හඩ නංවාගෙන බලන දුර්ගය තරණය කළ නිසයි. ඒ කදවුරු රැය පසුවදාට එළිවුනා. උදෑසන ආලෝකයත් එක්කම උඩරට ගෙවත්තක ලක්ෂණ පිරුණු භවබෝගවලින් පිරුණු භුමියකයි අපි රාත්‍රී නවාතැන් ගෙන තිබුණේ.

තේ කහට බීලා, වල වැසිකිළියක අත්දැකීමත් ලබලා, මූන කට හෝදගෙන, කෑම ඩිංගක් කාලා අපි සිරිසේන මාමා එක්කම බලන කොටුවට යන්න කන්ද නැග්ගා. නැන්දාටත් මාමාටත් වැඳලා මුව නොසෑහෙන්න ස්තූති කරලා ගමන පිටත්වුණේ ඉෂ්ට දේවතාවුන් මෙන් අපිට පිහිටවූ ඔවුන් එතරම්ම උසස් මිනිසුන් වූ නිසයි. මින් පෙර අපිව නොදැක නොදැන අපිට ඔවුන් දැක්වූ සත්කාරයන්වලට ගොඩක් පින්. වයසින් බොහෝ වැඩි නමුත් අපිට වඩා ඔවුන් ගොඩක් ශක්තිමත් වගේම ගොඩක් තෘප්තිමත්. අපිත් එක්ක හරිහරියට ගමන් කරන සිරිසේන මාමා දැක්කාම මට හිතුණේ එහෙමයි. බලන ප්‍රදේශය තේ සහ කුළුබඩු බෝග වගාවල නියැලෙන ප්‍රදේශයක්. තාරපාර දිගේ ඉදිරියට යද්දී මුලින්ම හමුවන ඓතිහාසික ස්මාරකය කඩවත කොස් ගස.

කඩවත කොස් ගස අවුරුදු පන්සියයකටත් වඩා වයසයි. කන්ද උඩරට රාජධානි සමයේ එක් ආරක්ෂක මුරපොලක් වූ බලන කොටු පවුර ආසන්නයේ පිහිටි බදු එකතු කරන ස්ථානයක් මෙහි තිබූ බව සදහන්. යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ අමුණුපුර ග්‍රාම නිලධාරී වසමේ මෙම ස්මාරක පිහිටා තිබෙනවා. කඩවත කොස් ගසත් පසුකරගෙන අපි බලන කොටුව සොයාගෙන ගියා.

මාර්ගයේ මදක් ඔබ්බෙන් වම පසට වූ බෑවුම් මාර්ගයක ගමන් කිරීමෙන් ඒ කරා ලගාවෙන්න පුළුවන්. ක්‍රි.ව. 1594 - 1604 සමයේ රජකම් කළ පලවෙනි විමලධර්මසුරිය රජු කාලයේ ඉදිකළ මෙම බලකොටුවේ සිට ඈත සතුරු සේනාවල පැමිණීම ඉතා හොදින් දිස්වෙනවා. රජුගේ නියමයෙන් අමුණුපුර මුදලි මෙම බලකොටුව නිර්මාණය කළ බව සැලයි. පෘතුගීසින්ට එරෙහිව දන්තුරේ සටන මෙන්ම බලන සටනද මහි සිට මෙහෙයවා ඇති අතර සිංහල යුධ උපක්‍රම හමුවේ පෘතුගීසි සේනා එම අවස්ථාවලදී පරාජයට පත්වෙලා තිබෙනවා. මෙම බලකොටුව ආශ්‍රිතව පැරණි යුධ බිංගෙවල් පවතින බවත් ගැමියන් අතර පවතින මතයක්. මෙම ගිරි දුර්ගයේ සිට පෙනෙන හාත්පස දර්ශනය ඉතාමත් මනස්කාන්තයි. සබරගමුව පළාතේ බතලේගල කදු මුදුන මෙන්ම අරණායක සිදුවූ මහා නායයෑමත් බලන කොටුවට හොදින් දර්ශනය වෙනවා. වර්තමානයේ බලන කොටුව භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භුමියක්.

බලන කැටලේ ඇළ උඩරට රාජධානි සමයේ පෘතුගීසින් සමූල ඝාතනය කළ එක් ස්ථානයක් ලෙස ප්‍රසිද්ධයි. කොටින්ම කියනවානම් මෙම ඇලේ වතුර ලේ පැහැයට හැරුනාලු පරංගි ලේවලින්.

අපි සිරිසේන මාමාටත් මුව නොසැහෙන්න ස්තූති කරලා බලනින් නික්මිලා පැමිණි මාර්ගයේම පල්ලම් බැස්සේ කෝච්චි පාරට එළබෙන්න සිතාගෙනයි.

මීලග ලිපියෙන් - කඩුගන්නාව බලා ගමනේ යා..

කඩිගමුව ස්ටේෂමට (පළමු දවස) - https://www.facebook.com/preciousfoots/posts/133290085044893
කඩිගමුවෙන් ඉදිරියට - https://www.facebook.com/preciousfoots/posts/135422411498327

සටහන - නිලංග රණතුංග

රඹුක්කනින් කඩුගන්නාවට සිල්පර කොටන් මතින් (දින 2)කඩිගමුවෙන් ඉදිරියටකඩිමුඩියේ කඩිගමුවෙන් පැනගත්තු අපි සිල්පර කොටන් මතින් ඉ...
20/06/2020

රඹුක්කනින් කඩුගන්නාවට සිල්පර කොටන් මතින් (දින 2)

කඩිගමුවෙන් ඉදිරියට

කඩිමුඩියේ කඩිගමුවෙන් පැනගත්තු අපි සිල්පර කොටන් මතින් ඉදිරියටම ඇදෙනවා. ගත්තු බීම බෝතලේ දිව අවුස්සලා මාරු වුණායින් පස්සේ උල්පත් වතුර අපේ පවස නිවුවා. තවම අපි ඉන්නේ සබරගමුව දිස්ත්‍රික්කයේ. යටිවල්දෙණිය පුංචි ස්ටේෂම පසුකරලා ඉදිරියට යද්දී අලගල්ල කන්දත් දිස්වෙනවා. මේ ගමනේදී අලගල්ල තරණය කරන්න අපිට කාලවේලා තිබුනේ නැහැ. අපේ හොදි පැකට් එක නරක් වීමට පෙරාතුව දවල්ට කෑමට ගත්තු පාන් ගෙඩිය දෙන්නත් එක්ක අහවරක් කළේ රේල්පාරේ මගදී හමුවුණු පන්සලක් ගාව නතරවෙලා. කොලඹ කරා මෙන්ම උඩරට බලා ඇදෙන දුම්රිය රැසක් අපිට මේ ගමනේදී මුණගැසුනා. ඒවායේ එන්ජින් ගැන ගප්පියා විවිධ මත පල කරනවා.

ඔන්න අපි ගංගොඩ කෝච්චි ස්ටේෂමට ආවා. කෝච්චි පාරේ දකුණු පසින් ලස්සන පොකුණක නිල් මානෙල් මලක් පිපිලා තිබෙනවා. මම මේ කතාව ලියන්නේ පින්තූර බලාගෙන. එතකොට ඒ පින්තූරවල අහුමුලුත් මට අඩු නැතුව මතකයට එනවා. ගංගොඩ පුංචි පහේ දුම්රිය ස්ථානයක්. කඩිගමුව සිට මේ දක්වා දුර 4 kmකට කිට්ටු ඇති. මාර්ගයේ වම් පසින් ඉහළට ඉහළට දිවෙන මානාවලින් වැසුණු කදු බෑවුම් වගේම දකුණු පසින් ඈතට නෙත් ගෙනයන චමත්කාර දර්ශනය කෝච්චියේ යද්දී වේගයෙන් පහුවුණත් මෙම ගමනේදී බොහොම විවේක පාඩුවේ විඳගන්න පුළුවන්. ඒ අතර එක සුවිශේෂී සලකුණක් ලෙස මාවනැල්ලේ උතුවන්කන්ද හදුන්වන්න පුළුවන්. උතුවන්කන්දේ සූර සරදියෙල් , මම්මලේ ඇතුළු සිය සගයන් හා එක්ව දුප්පතුන් වෙනුවෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිට අරගලය දියත්කළේ මෙහි සිටයි.

අපි ඒ වෙද්දී සෑහෙන්න බිංගෙවල් ගොඩක් පහුකළා. අපි ලේසියෙන් පහුකරලා ගියාට මේ බිංගෙවල් හැදිල්ල සුද්දගේ කාලේ කොච්චර අමාරු වෙන්න ඇතිද? බිංගෙයක් තුලදී කෝච්චියක් සෙට් වීමේ අහම්බ අවදානමට අපි මුහුණදෙන්නේ එසේ මෙසේ තැනකදී නම් නෙවෙයි. ඔයාලා හැමෝම දන්නවනේ, ලංකාවේ දිගම කෝච්චි බිංගේ හැටන් සිංගිමලේ බිංගෙය කියලා. ඊට පස්සේ තියෙන දිගම බිංගෙයක් වූ මීයන් ඇල්ල බිංගෙය (බිංගෙවල් අංක 5A) මැද හරියට අපි අවුලක් නැතුවම ටෝච්වල පිහිටෙන් ඇවිදගෙන ආවා.

මුලින්ම ඇහෙන්න ගත්තේ නුවර පැත්තේ ඉදන් එන කෝච්චියක හූ හඩ. අපිට එක අන්තයකටවත් දුවන්න වෙලාවක් නෑ. නමුත් කලබලේ අස්සේ සිල්පර අතරට කකුල් ගියොත් තවත් ගැටළුවක්. මේ වගේ අනතුරු වෙන්න පුළුවන් නිසාම කෝච්චි බින්ගෙවල් තුළ අතරින් පතර පොඩි කුහර නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ තැනකට හේත්තුවක් දාගෙන කන් දෙක වහගත්තාම දෙයියනේ කියලා අන්තරාවක් නෑ. දැන් කෝච්චියේ ඉදිරිපස ලාම්පුවේ ආලෝක කදම්භය කෝච්චි බිංගෙයි වංගු අතරින් අපිට පෙනෙනවා. කලබලේ නමුත් අපි කෝච්චි පාරට දුරස්තභාවයක් තියෙන ආරක්‍ෂිත තැනක් සොයාගත්තා. බෑග් අයිනට හේත්තුකරලා අපි දෙන්නා බිංගෙයි බිත්තියට පිට හේත්තු කරගෙන ඇගිලි කන්වල ඔබාගෙන සිටි අපේ ඉදිරියෙන් ලයිට් දාගෙන හූ කියාගෙන එන්ජිමේ හඩින් හාත්පස දෙදරවාගෙන යකඩ යකා අපිව පසුකරගෙන ගියේ අපෙන් අඩියකට නොඅඩු දුරකින්. ඒ අධික ශබ්දයෙන් කන් පරිස්සම් කරගන්න කන්දෙක වසාගැනීම අනිවාර්යයි. ඔන්න ඒ මාරකයත් ඉවරයි. අපි ඉතුරු අර්ධයත් ගෙවලා මීයන් ඇල්ල බිංගෙයි කෙළවරට ආවා.

බිංගේ තුලින් නොයා පිටතින් ඇවිද යන්නත් පොඩි අඩිපාරක් කදු බෑවුම අයිනෙන් තියෙනවා. ආපස්සට ඒ ඔස්සේ ඇවිද ගිය අපිට මීයන් ඇල්ල නම් වූ දියඇල්ල මුණගැසුනා. වියලි සමයක් නිසා වියලී ගිහින් පොඩි දියපාරක් ඉතිරිව තිබුණත් වැසි කාලයට නම් ඉතා සශ්‍රීක දිය ඇල්ලක් නිර්මාණය වෙනවා ඇති. එතැන් සිට ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය වෙත අප ඇවිද යනවිට අපේ දකුණු පස භූ දර්ශනය ඉතාම අලංකාරයි. එම දර්ශනය තුල බතලේගල කදු මුදුනට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. බතලේගල එහෙමත් නැතිනම් Bible rock මුහුදු මට්ටමේ සිට 670 m ක් උසයි. මෙහි විශේෂත්වය මුදුන පැතලි තලාවක් ලෙස පැවතීම.

අපි ඉහළකෝට්ටේ ස්ටේෂමට ලගාවෙද්දී හවස් හතරට විතර ඇති . රඹුක්කන සිට ගෙවා ඇති මුළු දුර 12 km. අද බලනටවත් යාගන්න තිබුණොත් හොදයි. බලන කොටුව කිට්ටුවෙන් camp කරගන්න තිබුණා. ඔහොම හිතාගෙන බලන කරා සිල්පර පනිද්දී ගමනේ තවත් එක සන්ධිස්ථානයක් හමුවුණා. ඒ තමා භයංකාර ගල. ඉංග්‍රීසියෙන් කියන්නේ, Sensation rock කියලා. මෙතනදී රේල්පාර දැඩි බෑවුමක අයින ඔස්සේ වංගුවක් ගන්නා අතර එතන පුංචි ලෝකාන්තයක් වගේ කිව්වොත් නිවැරදියි. එතරම්ම එම බෑවුම තිව්රයි. පහලින් පෙනෙන හෙල්මළු කුඹුරු යායවල් ඒ සවස් කාලයේ දසුනට අමතර වටිනාකමක් එකතුකළා. මේ ගමනේදී අපි ඇත්තටම වාසනාවන්ත වුණා. අපේ අත්දැකීමට වගේම අපි ගන්න පින්තුරයකටත් වටිනාකමක් ලබාදෙන්න, ඒ මොහොතේ භයංකාර ගල පසුකර යන්න කෝච්චියක් ආවා.

දුම්රිය මාර්ගය වංගු සහිත නිසා එක්වරම අපි වෙත කෝච්චියේ හූ හඩ ඇහෙනවා. ආයෙමත් දිශානතිය වෙනස්වුණාම හඩ ඇහෙන්නේ නැතිව යනවා. ඒ නිසා වඩාත්ම සුදුසු කෝච්චි හෝන් එක ඇහුනොත් කෝච්චි පාරෙන් පැනගන්න බලාගෙන පියවර මනින එක. ඔය ඉන්න අල්ල පනල්ලේ රුපියල් දෙකක් රේල් පීල්ලෙන් තියලා flat කරගත්තු තවත් එක මතක සටහනක් තවමත් මගේ ළග තියෙනවා.

ඇදිරි වැටෙන්න ආසන්න නිසා ටිකක් පය ඉක්මන් කළ අපිට සවස 5.30 වගේ වෙද්දී බලන ස්ටේෂම කරා එන්න පුළුවන් වුණා. බලන, ඉහළකෝට්ටේ වගේ පුංචි ස්ටේෂන්වල නවත්තන්නේ slow කෝච්චි. අපි බලන විඩා නිවද්දී එදින අපිට හමුවීමට නියමිත අවසන් කෝච්චියත් අපිව පසුකරගෙන ගියා. ස්ටේෂන් මාස්ටර්ගෙන් බලන කොටුවට මඟ සලකුණු අහගෙන අපි බලන රේල් ගේට්ටුවෙන් වමට තියෙන පොඩි පාරේ 500 m විතර ගියා. කිව්ව හැටියටනම් ස්ටේෂමේ සිට බලන කොටුවට 2 km පමණ දුරක් තියෙනවා. එතැන් සිට බලන කඩුගන්නාව මාර්ගය දක්වා තීව්ර බෑවුමක් අපි තරණය කරන්න ඕනි. දැන් ගොම්මන ඉතාම දැඩියි. බෑවුමේ අඩක් පමණ තරණය කරද්දී හොදටම කරුවල වැටුණා. අපි ඉතාම වාසනාවන්තයි මිත්‍රවරුනි. දැන් මොකද කරන්නේ?

මීලග ලිපියෙන් - ජීවිතයේ මුල්ම කදවුරු රාත්‍රිය පිටිසර නිවසක මිදුලක...

සටහන - නිලංග රණතුංග

Address


Telephone

+94714272148

Website

Alerts

Be the first to know and let us send you an email when අයාලේ-Ayale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අයාලේ-Ayale:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share