16/03/2024
අටමස්තානය පිළබඳ ඉතිහාසය උගෙනිමු, හැඳින නමදිමු හදබැතින්,
මිහිඳුහිම්යන් නම්කල අනාගත අටමස්ථාන
මිහිදු මහ රහතන් වහන්සේ අනුරාධපුර සීමා නිර්ණය කිරීමේදී භූමිය වෙන් කරන ලද අටමස්ථාන. දීප වංශය, මහා වංශය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංශය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මේ පිළිබඳ සදහන් වේ.
1. බෝධිගෘහය
2. ලෝවාමහාපාය
3. සන්නිපාත ශාලාව
4. රාශ්‍රි මාලකය
5. ලහබත් ගෙය
6. මහාථූපය
7. කණිෂ්ඨක ථූපය
8. ප්‍රතිමා ගෘහය
ඉතිහාස ග්‍රන්ථයන්හී විස්තර වන දේවානම්පිය තිස්ස රජු සමයේ අටමස්ථාන
මෙම ස්ථාන අටම මහා විහාරය අයත් ස්ථාන වේ.
1. තිස්සමහාරාමය
2. කර්මමාලක සීමාව
3. ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය
4. ශ්‍රී මහාබෝධිය
5. සංඝයාගේ පොහෝය ගෙය
6. සංඝයාට ලැබුන දේ බෙදන ස්ථානය
7. චතුස්සාගාරය
8. මහාථූපයට වෙන්කල භූමිය
13 වන සියවස වන විට අටමස්ථාන
1. දකුණු මහා සෑය
2. ශ්‍රී මහාබෝධිය
3. ලෝවාමහාපාය
4. පිරිත් ශාලාගෙය
5. ජන්තාඝාර පොකුණ පිහිටි ස්ථානය
6. ථූපාරාමය
7. රූවන්වැලිසෑය
8. මිහින්තලේ මහා සෑය
මහනුවර යුගය වන විට අටමස්ථාන.
මහාවිහාරයට අයත් අංග වලට අමතරව අභයගිරි විහාරයට අයත් අංගද එක්වී ඇත.
1. ශ්‍රී මහාබෝධිය
2. ලෝවාමහාපාය
3. රූවන්වැලිසෑය
4. අභයගිරිය
5. ථූපාරාමය
6. ජේතවනාරාමය
7. මිරිසවැටිය
8. මිහින්තලේ මහා සෑය
ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථාන
ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙgන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන අටමස්ථාන ලෙස නම්කර ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට සහ බුලන්කුලම පවුලට භාර දෙන ලදි.
1. මහා බෝධිය
2. ලෝවාමහාපාය
3. රූවන්වැලිසෑය
4. ථූපාරාමය
5. මිරිසවැටිය
6. අභයගිරි දාගැබ
7. ජේතවනාරාම දාගැබ
8. ලංකාරාමය
ශ්‍රී මහා බෝධීය
දඹදිව බුද්ධගයාවේ සිට ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සිරිලකට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන රාජකීය පිරිවර විසිනි. බෝධි ශාඛාව තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබූ ස්‌ථානයේ පිහිටි බෝධියේ අංකුරකි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන ලද්දේ පෙර තුන් බුදුවරුන් වහන්සේලාගේ බෝධි වෘක්‌ෂවල දක්‌ෂිණ ශාඛා පිහිටුවන ලද තැන්වලම බව සමන්ත ප්‍රාසාදිකා නම් විනය අටුවාවේ සටහන්ව ඇත. එදා ආර්යාවර්තයේ උරුවෙල් දනව්වේ පිහිටි තිලෝගුරු බුදුරජාණන්වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට සෙවණ දුන් මහා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වර්තමාන බුද්ධගයාවේ පවා දක්‌නට නැත. එහෙයින් එම මව් බෝධියේ එකම සජීවී ශාඛාව අනරාධපුර මහමෙව්නාවේ පමණක් විද්‍යමාන වන බැවින් එය සමස්‌ත බොදුනු දනන්ගේ ගෞරවයට පාත්‍රවන්නේ ජීවමාන බුදුන් වහන්සේ මෙන් සැලකීමෙනි. ජයශ්‍රී මහා බෝධ සෙවනේ මල්, පැන්. පිරිකර පුදා වන්දනාමාන කරන ඔබගේ චින්තනය තුළ ජීවමාන බුදුන්වහන්සේට වන්දනාමාන කරන්නාක් බඳු බැතිබර හැඟීමක් ඇතිවීම නොවැළැක්‌විය හැකිය. හරිත වර්ණයෙන් බැබළෙන ශ්‍රී මහා බෝධිය පොසොන් පෝය දින සතර දිග්භාගයෙන් ඇදී එන සැදැහැවතුන් බොදු බැතිමතුන්ගෙන් මහමෙව්නා උයනම පිරී ඉතිරී යනු ඇත. ශ්‍රී මහා බෝධිය තුළ දැකිය හැකි රන්වැට, බෝධියේ නැගෙනහිර පාර්ශ්වයේ පිහිටි ප්‍රතිමා ගෘහය, අලුතින් ඉදිකරන ලද නිර්මාණ වෙයි. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන ශ්‍රී මහා බෝධිය ජීවමාන බුදුන්වහන්සේ හා සමානව පුද පූජා ලබති. වරින් වර ද්‍රවිඩ ආක්‍රමණයන් වෙහෙර විහාර විනාශ කළත් ශ්‍රී මහා බෝධියට හානි නොවූයේ එහි සුවිශේෂී පූජනීයත්වය හා අදෘශ්‍යමාන බලවේගය නිසාය. 1948 ශ්‍රී මහා බෝධිය අවට කලාපය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්විය.
රුවන්වැලි සෑය
බෞද්ධ ලෝකයේ ඉමහත් ගෞරවයට පාත්‍රවී තිබෙන මහාථූපය හෙවත් රුවන්වැලි මහාසෑය සමකාලීන ලෝකයේ තිබූ විශාලම චෛත්‍යය යෑයි කියනු ලැබේ. මෙම දාගැබ ජයශ්‍රී මහා බෝධියට නුදුරින් දර්ශනීය පරිසරයක පිහිටා ඇත. ස්‌වර්ණමාලී දිව්‍යාංගනාව විසූ ස්‌ථානයේ ඉදිකරන ලද නිසා එයට 'රුවන්වැලි' යන නාමය පටබැඳී ඇති බව ජනප්‍රවාදවල කියෑවේ. මිල කළ නොහැකි රන්, රිදී. මුතු මැණික් දඹදිව රාමගාම ස්‌තූපයේ නිදන්කොට තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ නිදන්කොට ඇතැයි සඳහන් වේ. වාස්‌තු විද්‍යාත්මකව බුබ්බුලාකාර හැඩයකින් යුතව මෙම දාගැබ බු.ව. 383දී දුටුගැමුණු මහ රජතුමා විසින් නිර්මාණය කරන ලද්දකි. දාගැබේ වට ප්‍රමාණය අඩි 950ක් වන අතර උස අඩි 338කි. රන් ආලේපිත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25කි. සඳ පායා ඇති නිසල රාත්‍රියක මහා පරිමාණයේ සෑ වටා ඇති සලපතල මළුව වටා පැදකුණු කරන මොහොතක සිත නිවී ශාන්ත හැඟීමක් ගෙනදීම භාග්‍යයකි. චෛත්‍ය වටා අභිනවයෙන් සාදන ලද ඇත්පවුර දර්ශනීය ලක්‌ෂණයක් ගෙන දෙයි. සිරිලක එතෙක් පැවැති විශාල ස්‌තූපවීම, මහා විහාර භූමියේ පිහිටීම, හෙළ වීරයකු වූ දුටුගැමුණු රජ විසින් ගොඩනැංවීම නිසා මෙහි සංස්‌කෘතික වැදගත්කම වැඩිවිය. දැනට වර්ෂ 2172 පැරැණි මෙය රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය මගින් ප්‍රතිසංස්‌කරණය කොට වාහල්කඩ සාදවා දර්ශනීයත්වයට පරිවර්තනය කර ඇත.
ලෝවාමහාපාය (පෝය ගෙය)
ජයශ්‍රී මහා බෝධිය වන්දනාමාන කර ස්‌වර්ණමාලී දාගැබ දෙසට ගමන් කරන ප්‍රවේශ මාර්ගයේ අතර මගදී දකුණු පස ලෝවාමහාපාය දිස්‌වනු ඇත. මිහිඳු හිමියන් දේවානම්පියතිස්‌ස රජතුමා සමඟ ප්‍රකාශ කළ අන්දමට එම ස්‌ථානයෙහි ප්‍රාසාදයක් ඉදිකරවීමේ අවස්‌ථාව දුටුගැමුණු රජතුමාට ලැබුණේය. ලෝවාමහාපාය ඉදිකොට ඇත්තේ විශාල උස් ගල් කණු මතය. සිංහල කලාවේ උච්චස්‌ථානයක් හිමිකර ගැනීමට මෙම බෞද්ධ නිර්මාණ ශිල්පය සමත්විය. භික්‌ෂුන් වහන්සේලාගේ විහරණය සඳහා ස්‌ථිර ගොඩනැඟිල්ලක් ඉදිකරවීමට දුටුගැමුණු රජ ඉදිරිපත්වූ පසු එහි සැලැස්‌ම එක් රහතන් වහන්සේ නමක් ඉදිරිපත් කළ බවත් එය දෙව් විමනක ආකෘතියක් බවත් වංශකතාවල සඳහන්වේ. දුටුගැමුණු රජතුමා මෙම ප්‍රාසාදය නව මහලක් කොට ඉදිකර එහි ස්‌වර්ණාලේප කර ලෝහ උළු සෙවිලි කළ බවත් එනිසාම ලෝවාමහා ප්‍රාසාදය යන නාමය යොදා ඇති බවද පැවැසේ. විශාල සංඛ්‍යාවක් ගල් කුලුණුq යෙදීමෙන් චිරාත් කාලයක් පවතින ලෙස ඉතා ශක්‌තිමත්ව හා අලංකාර ලෙස නිර්මාණය කළ බවද සඳහන්ව ඇත. මෙය ගින්නෙන් විනාශවීමෙන් පසුව හෙළ රජදරුවන් කීපදෙනකු මෙය යළි සත්මහලක් කොට ඉදිකළ බවද පුරාණ මූලාශ්‍රවල සඳහන් වේ. මෙම සුවිසල් මහා ප්‍රාසාදය මහා විහාරීය භික්‌ෂුන් වහන්සේලාගේ පොහොය ගෙය වශයෙනුත් මහ විහාරයේ භාණ්‌ඩාගාරය වශයෙනුත් පරිශීලනය වූ බව සඳහන්ය.
ථුපාරාමය
මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් ඇත් පොකුන, බෝධිඝරය, පිළිමගෙය, පදලස චේතිය, දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.
මිරිසවැටිය
මෙය දුටු ගැමුණු රජු(ක්‍රිස්තු පූර්ව 161 - 137) ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. (පළමුවන ගජබා රජු, වෝහාරිකතිස්ස රජු, පස්වන කාශ්‍යප රජු ආදීන්ද මෙහි සුලු ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.) ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ.
අභයගිරි දාගැබ
මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා, ජගන්දලා, වික්‍රමශීලා වැනි බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය. මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩ පහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත. වලගම්බා (වට්ටගාමිණි අභය) රජුගේ දෙවැනි පාලන සමයේ(කි.පූ. 89 සිට 77 දක්වා) ඒ රජතුමා විසින් අභයගිරිය තනවන ලද්දේය. තිය (තිස්ස) නම් තරුණ බ්‍රාහ්මණයෙකු හා දෙමළ හමුදාවේ ආක්‍රමණ හමුවේ රජු සිහසුන අත හැර කඳුකරයට පලා ගියේය. මෙසේ පලා යද්දි ජෛන ආශ්‍රමයක සිටි ගිරි නම් පූජකයෙකු රජු දැක "මහා කලු සිංහලයා පලා යනවා" යයි කෑ ගැසීය. වසර 14 කට පසු භාතිය නම් දෙමළ රජු පරදවා නැවත රජවී එසේ කෑ ගැසූ තැන අභයගිරිය තනවන ලද්දේය.
ජේතවන විහාරය
ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර ජේතවනය තෙවැනි නිකාය වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය, පිළිම ගේ, පොහොය ගෙය, දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත. ගඩොලින් ඉදිකළ අවශේෂ ස්මාරක අතරින් දැනට ලොව නටබුන්ව පවතින උසම පූජනීය ගොඩනැගීම වන්නේ ජේතවන දාගැබයි. එවක ජේතවන දාගැබ උඩ අඩි 400කින් නොඑසේනම් මීටර් 110 කින් සමන්විත වූ බව කියැවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී පැවති මේ වෙහෙර වර්තමානයේ සිදුකළ සංරක්ෂණ කටයුතුවලින් පසු අඩි 237ක උසකින් සමන්විත වෙයි.
ලංකාරාමය
පෙර මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය, මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ විශ්කම්භය අඩි 38ක් වන අතර ස්ථූපයේ පැරණි හැඩයද වෙනස් වී ඇත.
අන්තර්ජාලය ඇසුරින් උපුටා ගැනීමකි.