03/11/2021
ශ්‍රී ලංකාවේ අපූර්වතම #ලෝක_උරුමයන්_08
නිකමට හිතන්න කෙනෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියල: දඹුල්ල ලෙන් විහාරයයි, ගීසාහි මහා පිරමීඩයයි, ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයයි අතර තියෙන සමාන කම මොකක්ද?
මේ වගේ දෙයක් ඇහුවාම ගොඩක් දෙනෙක් හිතන්නේ නරක විහිළුවක් කරන්න ලෑස්ති වෙනවා කියලයි. මොකද අපේ රටේ තියෙන ලෙන් විහාරයක් ගීසා වල පිරමීඩ එක්ක සංසන්දනය කරන්න බැහැ කියලයි වැඩි දෙනා හිතන්නේ. කොහොම වුණත් ගීසා හි පිරමීඩය වගේම දඹුල්ලේ ලෙන් විහාරයත් යුනෙස්කෝ ලෝක උරුම (UNESCO World Heritage Sites) කියල හඳුන්වන වර්ගීකරණයකට අයත් වෙනවා. මේ දෙකම එක විදිහටම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තියෙනවා දැක ගන්න පුළුවන්.
ගොඩබිම් භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 62,720ක් තරම් පුංචි රටක් වුණත් අපේ රට පුරාම තියෙන ස්වභාවික සහ මිනිසුන් හදපු පුදුමාකාර තැන් ගණන නම් හිතාගන්නත් බැරි තරම් ඉහළයි. මේ අතරේ අධිරාජ්‍ය පාලන සමයේ නිර්මාණ, ඉපැරණි නගර වගේම ගල් උඩ, ගල් ගුහා ඇතුලේ ඉදි කරපු ලෙන් විහාර වගේ උරුමයන් ගණනාවක් දකින්න පුළුවන්. මේ අතරින් අටක් ලෝකයට අතිශයින්ම වැදගත් නිසාම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ අන්තර්ගත කරලා තියෙනවා. ඇතෑන්ස් නුවර ඇක්‍රෝපොලිස් නගරය, චීන මහා ප්‍රාකාරය වගේ ලෝක ප්‍රසිද්ධ උරුමයන් එක්ක කරට කර ඉන්න පුළුවන් මේ දේශීය උරුමයන් ආරක්ෂා කරන්න ලෝක වාසීන් සියලු දෙනාම පෙළ ගැසෙන බව තමයි ඒකෙ තේරුම.
ලෝක උරුමයක් රට ඇතුලේ තියෙනවා කියන එකෙන් හැඟවෙන්නේ ඒවාට ඔහේ තියෙන්න දීලා බස් ගණනින් එන සංචාරකයන්ට බලන්න දෙනවා කියන එකම නෙවෙයි. මේවා බොහොමයක් ශතවර්ෂ ගණනාවක් තිස්සේ අව්වට වැස්සට හසු වෙලා අබලන් තත්වයට පත් වෙලයි තියෙන්නේ. ඒ නිසා ඉස්සර කාලේ තිබුණු අභිමානනීය තත්වයට එන විදිහට ප්‍රතිසංස්කරණය කරලා රැක බලා ගන්න ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. උදාහරණයක් විදිහට අලුතින් ප්‍රතිසංස්කරණය කරලා පසුගිය අවුරුද්දේ ජූලි මාසයේ විවෘත කෙරුණු අභයගිරිය ස්ථූපය හඳුන්වන්න පුළුවන්. මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න යුනෙස්කෝ ආධාර යටතේ අපේ රටේ මධ්‍යම සංස්කෘතික අරමුදලට වසර 15ක විතර කාලයක් මහන්සි වෙන්න සිදු වුණා. මේ ව්‍යාපෘතියේම කොටසක් විවිහට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට අයත් වෙන අනෙකුත් සංස්කෘතික ස්ථානත් පිළිසකර කෙරෙනවා. ජේතවනාරාම ස්ථූපය මේ අතරින් ප්‍රධානයි.
ලෝක උරුමයන් කියන්නේ අන්තර්ජාතිකව ආරක්ෂිත ස්ථාන වුණත් අපේ රටේ තියෙන ලෝක උරුමයන් අවශ්‍ය තරමින් රැක බලා ගැනෙන්නේ නැති ගැටළුවක් තියෙනවා. හොඳම උදාහරණය පසුගිය මාසයේ සිදු වුණු සිද්ධියක්. ළඟදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුනු යුනෙස්කෝවේ ප්‍රධාන අධ්‍යක්ෂක ඉරිනා බෝකොවා (Irina Bokova) මහත්මිය දඹුල්ලේ ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන්නට සිදු වේවි කියලා අනතුරු අඟවලා තිබුණා. ශ්‍රී ලංකාව තමන් සතු ලෝක උරුමයක් වන දඹුලු ලෙන් විහාරය ආරක්ෂා කරන්න අන්තර්ජාතික කෙටුම්පතක් මගින් (ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබද සමුළුව) බැඳිලා හිටියත් නඩත්තු කටයුතු හරි හැටි නොකරන එක වගේම ඒ අවට ඉදි කරලා තියෙන නුසුදුසු ගොඩනැගිලි නිසා එහි පෞරාණික බව හීන වෙනවා කියන එකත් එතුමිය පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ලෝක උරුමය වන සීගිරිය 1982 ඉඳලා යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ තිබුණත් එයටත් අලාභ හානි වෙන අවස්ථා තියෙන බව මෑතකදී සිදු වුණු කාරණා වලින් වටහා ගන්න පුළුවන්. නිසි ලෙස සංචාරකයන් හැසිරවීමක් නැති කම වගේම වගකිවයුතු නිලධාරීන්ගේ නොසැලකිල්ල වගේ බොහොම පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් දේවල් වලින් පවා සීගිරියට හානි සිදු වෙලා තියෙනවා.
ලෝක උරුමයන් සහිත රටක් කියන එක ආඩම්බරයට කාරණාවක් වුණත් ඒ එක්කම ලැබෙන වගකීම් කිහිපයකුත් තියෙනවා. නම් වශයෙන් කිව්වොත් මේ ස්ථාන ආරක්ෂා කර ගන්න, රැක බලා ගන්න වගේම නිසි ලෙස ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න සුදුසු ඵලදායි සහ ක්‍රියාකාරී ක්‍රමවේද පවත්වාගෙන යන එක අත්‍යාවශ්‍යයි. මේ හැම දෙයක්ම අදාළ උරුමය පිහිටලා තියෙන රටේ වගකීම් බවට පත් වෙනවා. ඉරිනා බෝකොවා මහත්මිය පෙන්වා දුන්නු විදිහටම ඒ ගැන වගකිව යුත්තේ අදාළ රටේ පාලන තන්ත්‍රය, නැතිනම් අපේ රටේ විදිහට නම් ශ්‍රී ලංකා රජය. අපේ රටේ තියෙන හැම ජාතික උරුමයක්ම ඒවායේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වෙන විදිහට පවත්වා ගැනීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා රජයට භාර ගන්න වෙනවා.
ලෝක උරුමයක් කියන සංකල්පය වැදගත් වෙන්න හේතු කාරණා ගණනාවක් තිබුණත් ප්‍රධානතම හේතුව එමගින් ජාතික, දේශපාලනික සීමා මායිම් නැතිව ලෝකය පුරාම තියෙන උරුමයන්ට ආරක්ෂාවක් ලැබෙන එක. නියම විදිහට නම් යුනෙස්කෝ ලෝක උරුමයක් මොන රටේ තිබුණත් ඒකෙ අයිතිය තියෙන්නේ මුළු ලෝකයටමයි. ඒ වගේ අපේ රටේ තියෙන ලෝක උරුම අට ගැනත් අපි මේ ලිපියෙන් කතා කරන්න හිතුවා.
01. සීගිරිය ඓතිහාසික නගරය
වර්ෂය - (1982)
02. අනුරාධපුර ඓතිහාසික නගරය
වර්ෂය - (1982)
03. පොළොන්නරුව ඓතිහාසික නගරය
වර්ෂය - (1982)
04. සිංහරාජ රක්ෂිත වනාන්තරය
වර්ෂය - (1988)
05. පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව
වර්ෂය - (1988)
06. මහනුවර පූජා නගරය
වර්ෂය - (1988)
07. රංගිරි දඹුලු රජමහා විහාරය
වර්ෂය - (1991)
08. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශය
වර්ෂය - (2010 )
මේ ලෝක උරුම 08ට පිලිබදව සවිස්තරාතමකව ෆොටෝවත් සමග ලියා දක්වලා තියෙනවා එකින් එක කියවලා බලන්න.
පුංචි දූපතක් වෙලත් ලෝක උරුම අටකටම හිමිකම් කියන්න තරම් අපි වාසනාවන්ත වුණත් ඒ ගැන ඇත්තටම ආඩම්බර වෙන්න නම් අපිට ඒ තැන් ආරක්ෂා කර ගන්න මීට වඩා වැඩ කොටසක් ඉටු කරන්න සිදු වෙනවා. ලෝක උරුමයක් කියන්නේ අද බොහෝ දුරට වචනයකට විතරක් සීමා වුණු දෙයක් විදිහටයි පෙනෙන්න තියෙන්නේ. සංචාරකයන් ගෙන්වා ගන්න හැම තැනකම “ලෝක උරුමයක්” කියලා දිලිසෙන ලොකු අකුරු වලින් ප්‍රචාරය කළාට ඒ පිටුපස තියෙන වගකීම තේරුම් ගන්නවාද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. යුනෙස්කෝ ලෝක උරුමයක් කියන නම්බු නාමය ලැබෙන්නේ ඒ ස්ථානය ආරක්ෂා කර ගන්න නීතිමය සහ සදාචාරාත්මක වගකීමක් එක්කයි කියන එක අපි වටහා ගන්න අවශ්‍යයි.
අපි මේ කියන්නේ වගකිව යුතු පිරිස් කිසිවක් නොකරන බව නෙවෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදල වගේම අනෙකුත් වගකිවයුතු ආයතනත් මේ තැන් රැක බලා ගන්න වෙන කාටත් වැඩියෙන් වෙහෙසෙන බව අපිත් පිළිගන්නවා. ඔවුන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙලා අපේ උරුමයන් රැක බලාගෙන, නඩත්තු කරලා පවත්වා ගෙන යන නිසා තමයි වසර ගණනාවක් තිස්සේ මේ ස්ථාන මේ මට්ටමට ඉතිරි වෙලා තියෙන්නේ. නමුත් යුනෙස්කෝ අධ්‍යක්ෂකතුමියගේ ප්‍රකාශයත් එක්ක අපේ උරුමයන් ආරක්ෂා කර ගන්න නම් මීට වඩා මහන්සි වෙන්න සිදු වෙන බව පැහැදිලිවම පෙනෙන්න තියෙනවා. ශ්‍රී ලංකාව ලෝක උරුමයන් අටක් තියෙන රටක් කියන තත්වය ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.
ශ්‍රී ලංකාව තුළ තියෙන ලෝක උරුමයන් කිසිවක් විනාශ වෙලා ගියොත් ආපහු ගොඩ නගන්නවත්, ප්‍රතිස්ථාපනය කරන්නවත් පුළුවන් තැන් නෙවෙයි. අපිට් කරන්න පුළුවන් එකම දේ විනාශයට යන්න ඉඩනොදී ඒවා රැකබලාගන්න එක විතරයි. ඒ නිසා අපේ ලෝක උරුමයන් ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න මේ ලිපිය කියවන ඔබ කවුරුත් සැළකිල්ලට ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැතිනම් අද අපිට දකින්න තියෙන බොහෝ දේවල් අනාගත පරම්පරාවන්ට මතක් කරලා දුක් වෙන්න විතරක් ඉතිරි වෙන තැන් බවට පත් වීම වළක්වා ගන්න බැරි වේවි.