10/10/2022
රාවණාගේ කරත්ත පාර - චැරියට් පාත්👣⛺️🌺🧭🌍
Chariots Path of King Rawana
රාවණා පුරාවෘත්තය හා සම්බන්ධ සොභා සෞන්දර්යයෙන් අනූන සංධිස්ථානයක් ලෙස පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ පිහිටා ඇති රාවණාගේ කරත්තය ගමන් කළ මාර්ගය හෙවත් චැරියට් පාත් හැඳින්විය හැක.
එම ජනප්‍රවාදයට අනුව, රාවණා රජු විසින් සීතා දේවිය “ලංකාපුර” අගනුවර සිට “අශෝක විටක” නම් ස්ථානය වෙත රැගෙන යන අතර වාරයේදී මෙම ස්ථානය හරහා තම රිය ගෙන ගිය බවත්, එවිට මෙම ස්ථානය නිර්මාණය වූ බවත් පැහැදිලි කරයි.
මෙම සුන්දර බිම්කඩ සොයා යන ගමන ආරම්භ කළ යුත්තේ පුස්සැල්ලාව පෙරට්‍ටාසි වතුයායෙනි. එනම් පළමුව මහනුවර නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව නගරයට පැමිණ, අනතුරුව පුස්සැල්ලාව නගරයෙන් පෙරෙට්ටාසි දක්වා බස් රථයේ ගමන් කළ යුතුය.
කිලෝ මීටර් 18කට ආසන්න දුරක් පැය එකාමාරකට ආසන්න කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව පෙරෙට්ටාසි වතුයායේ කළමනාකරුගේ බංගලාව අසලට පැමිණිය හැකිය. එම ස්ථානයේ සිට බංගලාව ඉදිරියෙන් ඇති රීට් මාර්ගයේ ඉදිරියට ගමන් කළ යුතු අතර එතනින් තේ වතු යායකට පිවිසීමෙන් පසු එහි කිලෝ මීටරයක් පමණ ගමන් කළ යුතු වේ. එම අඩි පාර ඔස්සේ තව දුරටත් ඉදිරියට ගමන් කිරීමේදී මාර්ගය තුන් පසකට බෙදී යෑම සිදුවේ. එහිදී මැද මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු අතර එම මගෙහි යම් දුරක් ගිය විට යළි මාර්ග දෙකක් හමුවන අතර දකුණු පස ඇති අඩි පාර ඔස්සේ ගමන් කළ යුතුය. ඔබ ගමන් කරන මාර්ගයෙහි වම්පසට වන්නට තරමක ගල් කුළක් හමු වෙනවා නම් ඔබ ගමන් කරන්නේ නිවැරදි මාර්ගයේ වන අතර එහි ඉදිරියට ගමන් කිරීමෙන් චැරියට් පාත් වෙත ලඟා විය හැක.
ශ්‍රී ලංකාවේ සීතලම කාළගුණය සහිත ප්‍රදේශය ලෙස සැලකෙන මෙම භූමි භාගය වෙත සංචාරය කරන ඔබට කඳුකර වැසි වනාන්තරවලට උරුමකම් කියන ශාක හා මල් වර්ග රාශියක සුන්දරත්වය විඳීමේ අවකාශය උදාවෙනු ඇත. එසේම මෙම භූමියට ආවේණික අධික ශීතල කාලගුණය හේතුවෙන් සෑම දිනකම උදෑසන පතිත වන මල් තුහින මෙම පරිසරය තව තවත් සුන්දර කරන සාධකයකි.
මහඑළිය තැන්න හෙවත් හෝර්ටන් තැන්න උද්‍යානයට බොහෝ සමානකම් දක්වන පරිසර පද්ධතියක් වන මෙම කඳු වැටිය මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසකින් පිහිටා ඇත. මෙම මනස්කාන්ත බිම්කඩ වටා එක් පසකින් පිදුරුතලාගල රක්ෂිතයත්, තවත් පසකින් කොත්මලේ ඔයත්, තවත් පසකින් හේවාහැට හඟුරන්කෙත ප්‍රදේශයත්, පිහිටා ඇති අතර මෙහි සිට ශ්‍රී පාදය, පිදුරුතලාගල, කිකිලියාමාන, සිංගල් ත්‍රී, පීකෝක් හිල්, කොත්මලේ, ග්‍රේට්වෙස්ටන්, රිකිල්ලගස්කඩ, කුකුළාගල, රන්දෙණිගල ජලාශය, දොළොස්බාගේ කඳු සහ තවත් විශාල භූමි ප්‍රමාණයක් දැක බලා ගැනීමේ හැකියාව ඇත. එනම් පුළුල් දර්ශන තලයක් සහිත ස්ථානයක් ලෙස චැරියට් පාත් හැඳින්විය හැක.
උසින් අඩු වූ ලඳු කැලෑවලින් වට වූ මැද හිස්ව තිබෙන මෙම ප්‍රදේශයේ පිහිටීම මත "චැරියට් පාත්" ලෙස හැඳින්වීමට රුකුලක් වී ඇති බව මෙහි සංචාරය කරන්නෙකුට නිරායාසයෙන්ම සිතෙනු ඇත. මෙම ස්ථානයේ පිහිටා ඇති තවත් එක් සුවිශේෂී ස්ථානයක් වන්නේ මෙම තැනිතලාවේ එක කෙළවරක පිහිටා ඇති වතුර පිරුණු කුඩා පොකුණයි. ජනප්‍රවාදයට අනුව මෙම පොකුණ රාවණා ගෙනා ආ සීතා දේවියගේ කඳුලු වලින් නිර්මාණය වී ඇති අතර කිසිදු උග්‍ර නියං සමයකදී වුවද මෙම පොකුණ නොසිඳෙන බව ගම්වාසීන් විශ්වාස කරයි.
ගලායන සීත සුළං දහරාත් සමග ගමන් කරන වාළාකුළුත්, මලින් බරවුනු ලඳු කැලෑවත්, කොළ කහ මිශ්‍ර තෘණ භූමියත් මවන ඒ දසුන නෙත් ඉවතට ගැනීමට නෙදෙන තරම් මනස්කාන්තය. එසේම මීදුම නොමැති දවසක ඉර උදාව සේම ඉර බැසීමද මෙම ස්ථානයේ සිට අපූර්ව ආකාරයෙන් නැරඹීමේ හැකියාව පවතී. සුපැහැදිලි අහසක් ඇති දිනයක රාත්‍රී කඳවරු අත්දැකීමක් විඳීමට ඔබට අවස්ථාව උදා වුවහොත් එම අහසේ අතිශය චමත්කාර දසුන ඔබට කිසාදා අමතක නොවනු ඇත. සුපුරුදු ලෙසම අවසානයේ කිව යුත්තේ පරිසරයට අදාල නැති පොලිතින් ප්ලාස්ටික් වැනි දෑ හා සංචාරය කරන අපේ උන්දැලා ගේ හපන්කම් හේතුවෙන් මෙම පරිසරයේ පැවැත්මටද තර්ජනයක් එල්ල වී ඇත. එමනිසා මෙම ස්ථානය රැකගැනීම මෙහි සංචාරය කරන ඔබගේ වගකීමක් බව අමතක නොකරන්න.
📸 Dinesh M Ebert