28/12/2022
ලංකාවෙ ප්‍රථම දුම්රිය ගමනට අදට වර්ශ 158යි. ♥️
(1864-2022)
කොළඹ සිට අඹේපුස්ස දක්වා රාජකීයයන් රැගත් ඒ මංගල දුම්රිය ගමන සිදු වූයේ මෙරට බ්‍රිතාන්‍යය ආදිපත්‍යයට යටත්ව තිබූ කාලයේදීය. ඒ වර්ෂ 1864 දෙසැම්බර් 27 වනදාය
මෙරට යටත් විජිත සමයේ කෝපි ඇතුළු අපනයනික ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කරනු ලැබුවේ කරත්ත මඟිනි. එහෙත් කරත්ත මඟින් භාණ්ඩ ප්‍රවාහනය නිසා වැවිලි කර්මාන්තයේ බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටු නොවීය. කරත්ත මඟින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා අධික කාලයක් ගත වීමත් ආරක්ෂාව ගැටලුවක් වීමත් මෙන්ම කරත්ත මඟින් ප්‍රවාහනයේදී අපතේ යාම මෙන්ම හානිය වැඩිවීමත් නිසා උපරිම ප්‍රතිඵල ලබා ගැන්මට ඉංග්‍රීසීන්ට නොහැකි විය. ගවයන් වරින් වර අසනීප වීම මෙන්ම අධික වැසි සහිත දිනවලදී භාණ්ඩ ප්‍රවාහනයට දැඩි බාධක එල්ල විය. මේ නිසා වතු ආශ්‍රිත නිෂ්පාදන කොළඹ කරා ගෙන ඒමට දුම්රිය සේවය ආරම්භ කිරීමට කාලයක සිට යෝජනා විය. ප්‍රථමයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූයේ 1845 දී කොලින් කැම්බල් ආණ්ඩුකාරවරයාගේ පාලන සමය තුළ දී ය. එහෙත් කඳු රටේ සිට පහත රටට දුම්රිය මාර්ගයක් තැනීම ලෙහෙසි පහසු නොවීය. එසේ වුවත් ලංකාවේ වතු හිමියන්ගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගයක් තැනීමට යෝජනා විය. ඒ සඳහා 1845 වසරේදීම ඔක්තෝබර් මාසයේ දී එංගලන්තයේ ලන්ඩන් නුවර දී “ලංකා දුම්රිය සමාගම” නමින් සමාගමක් ලියාපදිංචි කරන ලදී. එයින් පසු මේ සම්බන්ධයෙන් යටත් විජිත රජය හා ලංකා දුම්රිය සමාගම අතර සාකච්ජා කිහිපයක්ම පැවැත්වුණි. එහෙත් බොහෝ සාකච්ඡා හුදෙක් වචනවලටම සීමා විය. දශකයක්ම මේ අයුරින් දුම්රිය මාර්ග සම්බන්ධ අදහස් හුවමාරු විය.
1855 දී සර් හෙන්රි වෝඩ් ලක්දිව ආණ්ඩුකාර ධුරයට පත්විය. එතුමා මෙරටට දුම්රිය මාර්ගයක් ඉඳි කිරීම සඳහා දැඩි අදිටනින් යුතුව කටයුතු කරන ලදී. ඒ සඳහා බ්‍රිතාන්‍ය රජය ද, ලංකා දුම්රිය සමාගම හා වැවිලිකරුවන් මනා ලෙස සම්බන්ධීකරණය කරමින් මේ සඳහා දැඩි සේ උත්සාහයක් ගත්තේ ය. පළපුරුදු ඉංජිනේරුවරයකු වූ ඩබ්ලිව්.එස්.මූර්සම් මහතා ද එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගෙන අවශ්‍ය මිනුම් කටයුතු සිදු කර වාර්තාවක් ලබාදෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසින් සර් හෙන්රි වෝඩ්ගේ මූලිකත්වයෙන් වර්ෂ1858 අගෝස්තු මස 03 වනදා කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මඟ ඉදි කිරීමට මංගල පස් පිඩැල්ල කැපීම උත්සවාකාරයෙන් සිදු කරන ලදී. ඒ වර්තමානයේ ලෝකෝ හන්දිය නමින් හඳුන්වන මාලිගාවත්ත දුම්රිය අංගනයට ආසන්න භූමි භාගයේය.
මංගල පස් පිඩැල්ල කැපීමෙන් අනතුරුව දුම්රිය මඟ ඉදි කිරීමේ කටයුතු අරඹා ඉදිරියට යාමේ දී මූර්සම් මහතාගේ ඇස්තමේන්තුගත වියදමට වඩා වැඩි මුදලක් මේ සඳහා වැය විය හැකි බව පැහැදිලි විය. මේ සම්බන්ධව දුම්රිය සමාගම හා යටත්විජිත රජය අතර ඇති වූ මත භේදයක් මත 1961 වසරේදී “ලංකා දුම්රිය සමාගම” විසුරුවා හරින ලදී. එතැන් සිට සියලු වැඩකටයුතු යටත් විජිත රජය යටතට පත් විය.
ඉන්පසු ලංකාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම පිළිබඳව ලන්ඩනයේ දී ටෙන්ඩර් කැඳවා එම ටෙන්ඩර්පත් මෙහි ගෙන්වා ඉන් ඩබ්ලිව්. ෆෙඩ්රික් ෆේවිල් මහතාගේ අයදුම්පත තෝරා ගන්නා ලදී. ෆේවිල් මහතා විසින් එංගලන්තයේ ඉංජිනේරුවරු හා පරිපාලකවරුන් ගෙන්වා ගන්නා ලද අතර ඉන්දියාවෙන් කම්කරු පිරිස් ගෙන්වා දුම්රිය මඟ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඉදිරි මාර්ග කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා වර්ෂ 1864 ජනවාරි 19 වන දා මෙරටට ප්‍රථම වාෂ්ප දුම්රිය එන්ජිම ගෙන්වනු ලැබී ය. එම වසරේදීම අගෝස්තු මාසය වන විට අඹේපුස්ස දක්වා වූ සැතපුම් 34ක් වූ දුම්රිය මාර්ගය තනා නිම කිරීමට ෆෙඩ්රික් ෆේවීල් මහතා සමත් විය. ඒ සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලැබුවේ මිනිස් ශ්‍රමයයි. මිනිස් ශ්‍රමය යොදා ගෙන කෙටි කලකින් මෙතරම් දුරක දුම්රිය මඟ තැනීම එක්තරා අතකින් විස්මය ජනකය. එවකට ලංකාවට පැමිණ සිටි බෙල්ජියමේ රජ කිරුළ හිමි බබ්‍රැන්ට් ආදිපාදවරයා සඳහාම මෙරට ප්‍රථම දුම්රිය ගමන සංවිධානය කිරීමට යටත් විජිත රජය විසින් කටයුතු කරන ලදී.
ඒ අනුව වර්ෂ 1864 දෙසැම්බර් මස 27 වැනි අඟහරුවාදා දින මෙරට දුම්රිය ඉතිහාසයේ මංගල දුම්රිය ධාවනයට කටයුතු කෙරිණි. ඒ වර්තමානයේ දුම්රිය මූලස්ථානය අසල පිහිටි දුම්රිය කෞතුකාගාරය පරිශ්‍රයේ කොළඹ පර්යන්ත දුම්රිය ස්ථානයේ සිටය.
රාජකීයයන්ට අමතරව මෙරට ප්‍රභූ පෙළැන්තියේ නියෝජිතයෝ රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ. ලියෝපෝල්ඩ් වර්ගයේ වාෂ්ප එන්ජිම සහිත දුම්රිය ඉතා අලංකාර ලෙස සරසා තිබිණි. එංගන්තයෙන් ආනයනය කර තිබූ දුම්රිය මැදිරි ඉතා උසස් තත්ත්වයෙන් යුතු සුඛෝපභෝගී ආසනවලින් සමන්විත විය. එසේම ඒවා දොර දෙකක් සහිත රෝද යුගල හතරකින් යුතු දිගින් අඩු මැදිරි විය. මැදිරි හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන ලෙස සකස් කර තිබුණු අතර පොල්තෙල් පහන්වලින් ආලෝකය ලබා දී තිබිණි.
එම දුම්රියේ රියැදුරු ලෙසින් කටයුතු කෙළේ ප්‍රධාන ඉංජිනේරු ගිල්ෆෝර්ඩ් ලින්ඩ්සේ මෝල්ස්වර්ත් මහතා ය. මෙම මංගල චාරිකාව සඳහා සහභාගි විය යුතුව ම සිටි දුම්රිය මාර්ගයේ නිමැවුම්කරු වන ෆේවිල් මහතා ඒ වනවිට දැඩි ලෙස රෝගාතුරව ප්‍රතිකාර ගැනීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබිණි.
රාජකීය දූත පිරිස ඇතුළු ප්‍රභූ පිරිස රැගත් දුම්රිය නියමිත වේලාවට ලබා දුන් සංඥාවකින් පසු අඹේපුස්ස දක්වා ගමන් ඇරැඹී ය. රාජකීය අමුත්තා වූ බබ්‍රැන්ට් ආදිපාදවරයා දුම්රියට ගොඩවූයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙනි. දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයට ළඟා වූ පසු එහි සංවිධානය කර තිබූ සාදයකට ද රාජකීය අමුත්තා ඇතුළු පිරිස සහභාගි විය. රාජකීය අමුත්තන් රැගත් මංගල දුම්රිය දුම්රිය ගමන එසේ නිමාවීමෙන් පසු වර්ෂ 1865 දී ලංකා දුම්රිය සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෝල්ස්වර්ත් මහතා පත් කෙරිණි.
වර්ෂ 1865 ඔක්තෝබර් මස 02 වන දින කොළඹ අන්තය දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දක්වා ලංකාවේ ප්‍රථම මගී දුම්රිය ධාවනය විය. පසුව කඩිනමින් මහනුවර දක්වා වූ දුම්රිය මඟ තනන ලද්දේ වතු හිමියන්ගේද දැඩි උනන්දුව මතය. ගිරි දුර්ග හරහා බිම්ගෙවල් තනමින් මහනුවර දක්වා වූ මේ මාර්ගය 1867 වසරේ අප්‍රේල් මස අවසන් වන විට මහනුවර දක්වා ම දුම්රිය මඟ තනා අවසන් කෙරුණි. 1867 වසරේ අගෝස්තු මස පළමුවන දින කොළඹ සිට මහනුවර දක්වා ප්‍රථම මගී දුම්රිය ධාවනය විය. වර්ෂ 1868 වන විට ලංකා දුම්රිය සේවය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව බවට පත් වූ අතර එහි පාලකයා වූයේ දුම්රිය අධ්‍යක්ෂ ජනරාල් වරයාය. වර්ෂ 1871 දී මෝල්ස්වර්ත් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ ය. ඔහුගෙන් පසු ව ජේම්ස් රොබට් මොසේ මහතා දුම්රිය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් විය. මේ වන විට කෝපි වගාව බහුල ව පැවැති ගම්පොළ හා නාවලපිටිය වැනි ප්‍රදේශ කරා දුම්රිය මඟ තැනීමට අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1873 ජනවාරි මස 15 වන දින මහනුවර සිට ගම්පොළ සිට දක්වාත් 1874 දෙසැම්බර් 21 වන දින නාවලපිටිය දක්වාත් දුම්රිය ධාවනය ඇරැඹිණි. අනතුරුව ගලබඩ, හැටන් , තලවාකැලේ, නානුඔය, අඹේවෙල, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න හරහා හපුතලේ දක්වා ඉඳි වූ දුම්රිය මග 1893 ජූලි 19 වන දින විවෘත කෙරිණි. 1893 සැප්තැම්බර් 03 වන දින වන විට බණ්ඩාරවෙල දක්වා දුම්රිය මග ඉදි කෙරුණු අතර 1918 ජූලි මස 01 ඇල්ල දක්වා ද එහි සිට දෙමෝදර දක්වා ඉඳි කෙරුණු දුම්රිය මඟ දෙමෝදර සිට බදුල්ල දක්වා ඉඳි කිරීමට වසර 6 ක් ගත විය. ඒ එතැන සිට මාර්ගය තැනීමේ දී සිදුවූ අපහසුතාවන්ය. පසුව ජටාවක ආකාරයෙන් දුම්රිය ස්ථානය යටින් මාර්ගය නිමවා බදුල්ල දක්වා වූ මාර්ගය 1924 පෙබරවාරි 05 වන දින එවකට ආණ්ඩුකාර ධූරය දැරූ විලියම් මැනිං මහතා අතින්ම විවෘත විය.
වතු වගාව බහුල ප්‍රදේශයක් මෙන් ම වැවිලිකරුවන් ඇතුළු ඉහළ පැළැන්තියේ ජනතාවගේ විවේක ස්ථානයක් ලෙසින් ද ප්‍රසිද්ධව පුංචි එංගලන්තය යැයි ප්‍රසිද්ධ වූ නුවරඑළිය නානුඔයට සම්බන්ධ කරමින් පටු මාර්ගයක් තැනීමට රජයේ අවධානය යොමු වූ අතර වර්ෂ 1900 වසර අගභාගයේ ද මෙය ඉඳි කිරීම ඇරඹිණි. ඒ අනුව නුවරඑළිය දක්වා වූ මාර්ගය 1903 දෙසැම්බර් 14 වන දින ද 1904 වන විට බෘක්සයිඩ් කඳුපෙළ හරහා රාගල දක්වා ද මාර්ගය විවෘත කෙරිණි. නමුත් ආර්ථික වශයෙන් පාඩු ලැබීම මත මෙම මාර්ගය දෙවන ලෝක යුද්ධයෙන් පසු වසා දැමිණි.
උඩරටට පමණක් සීමා වූ දුම්රිය මඟ එයින් ඔබ්බට විහිද ගියේය. එහි පළමු අවස්ථාව උදාවූයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයටයි. 19 වන සියවසේ අග භාගය වන විට අගනුවර කේන්ද්‍ර කොට ගෙන ඇති වූ ධනවත් වානිජ පරම්පරාව කොළඹ සිට දකුණට ව්‍යාප්තව සිටි අතර අගනගරයේ සේවය කළ බොහෝ පිරිස්ද දකුණේ අය වූහ. ඒ අනුව දුම්රිය මාර්ගය දකුණට ඉඳි කිරීමේ අවශ්‍යතාවක් මතු විය.
මෙහි ප්‍රතිඵලයක් ලෙසින් 1875 ජනවාරි මස 06 වන දින මොරටුව දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය තැනීම අනුමත විය. එහෙත් ගාලු මුවදොර පිටිය හරහා දුම්රිය මඟ තැනීමට එල්ල වූ විරෝධතාවයන් මත කොම්පඤ්ඤවීදිය හරහා කොල්ලුපිටිය, වැල්ලවත්ත, ගල්කිස්ස, රත්මලාන හරහා මොරටුව දක්වා මාර්ගය තනන ලද අතර 1877 මාර්තු මස 01 වන දින එය විවෘත කෙරිණි. අනතුරුව එය පානදුර දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වූ අතර 1877 සැප්තැම්බර් මස 01 වන දින පානදුර දක්වා දුම්රිය ධාවනය ඇරඹිණි. මෙම දුම්රිය මඟ තව දුරටත් දීර්ඝ කරමින් වර්ෂ 1879 පෙබරවාරි මස 01 දින වාද්දූව දක්වා ද 1879 සැප්තැම්බර් 22 වන දින කළුතර දකුණ දක්වා ද විවෘත වූ අතර, මෙහි දී මතු වූ අභියෝගයක් වන කළු ගග හරහා පාලමක් තැනීම රජයේ වැඩ දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරිණි. වර්ෂ 1890 මාර්තු 31 වන දින කළුතර සිට අලුත්ගම දක්වාත් වර්ෂ 1892 සැප්තැම්බර් 08 කොස්ගොඩ දක්වාත් දුම්රිය ධාවනය ඇරැඹිණි.
මේ වන විට කොළඹ අන්තය දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයේ හා දක්ෂිණ මාර්ගයේ දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම අසීරුවීම මත මරදාන නව දුම්රිය ස්ථානයක් ගොඩ නැඟීමට අවධානය යොමු ව පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මරදාන (පැරැණි) දුම්රිය ස්ථානය 1893 ජූලි මස 12 වන දින විවෘත වූ අතර අනතුරුව දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයේ වූ වර්ධනය සමග කොළඹ අන්තය දුම්රිය ස්ථානය හා යාබද ව කොළඹ බඩු ගබඩාව ඉදි කෙරිණි. .
එමෙන් ම, කොස්ගොඩ සිට අම්බලන්ගොඩ දක්වා වූ දුම්රිය මාර්ගය වර්ෂ 1893 නොවැම්බර් මස 15 වන දින විවෘත කෙරුණු අතර වර්ෂ 1844 මැයි මස 07 වන දින මුහුදු බඩ දුම්රිය මාර්ගය ගාලු පුරවරය දක්වා විහිදිණි. වර්ෂ 1895 දෙසැම්බර් 17 වන දින ගාල්ල සිට මාතර දක්වා ද දුම්රිය ධාවනය ඇරැඹිණි. ඊට වසර 100 කට පමණ පසු මෑත භාගයේදී මාතර සිට කතරගම දක්වා දුම්රිය මඟ තැනීමේ කටයුතු ආරම්භ කරන ලද අතර එය බෙලිඅත්ත දක්වානිමවා තිබේ.
මුහුදුබඩ මාර්ගය තනන අතර මාතලේ ප්‍රදේශයේ කෝපි පලදාව කොළඹට කඩිනමින් ගෙන ඒම පිණිස මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය දක්වා දුම්රිය මඟ තනා 1880 ඔක්තෝබර් මස 04 වන දින විවෘත විය.
මේ අතර 1877 වසරේදී උතුරු දුම්රිය මාර්ගය තැනීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්වා දුම්රිය මඟ ඉදි කෙරීමට යෝජනා කෙරුණි. ඒ අනුව 1891 වසරේ මැයි 9 දින කුරුණෑගල දක්වා වැඩ කටයුතු ඇරැඹිණි. කුරුණෑගල දක්වා දුම්රිය ගමන් ආරම්භ වූයේ 1893 පෙබරවාරි 14 වැනිදායි. අනුරාධපුරය දක්වා දුම්රිය මඟ සකස් කර 1903 නොවැම්බර් මස 01 වැනිදා දුම්රිය ධාවනය ඇරුඹුණි.
පසුව උතුරු දුම්රිය මඟ දීර්ඝ කිරීමේ සාකච්ඡාවෙන් පසුව උතුරු කෙළවරෙන් දුම්රිය මඟ තැනීම ඇරැඹුණි. ඒ අනුව පළමු අදියර යටතේ කන්කසන්තුරයේ සිට චාවාකච්චේරිය දක්වා 1902 මාර්තු මස 10 වැනිදාද පලෙයි දක්වා එම වසරේම සැප්තැම්බර් 15 දිනද ගමන් ඇරැඹි අතර කිළිනොච්චිය වවුනියාව හරහා අනුරාධපුරයට මාර්ගය සම්බන්ධ කෙරිණි.
මේ අතර මන්නාරම මාර්ගය ඉදි කිරීමේ යෝජනාවක් අනුව මැදවච්චියේ සිට තලෙයි මන්නාරම දක්වා මාර්ගය ඉදි කිරීම ඇරැඹුණු අතර 1908 දී එහි වැඩ කටයුතු ඇරැඹුණි. මෙම මාර්ගය මන්නාරම් දූපත දක්වා යා යුතු වූ හෙයින් මුහුද හරහා දුම්රිය මඟ ඉදි කිරීම අසීරු කාර්යයක් විය. එසේ වුවත් එම සියලු අභියෝග ජය ගනිමින් 1912 මස වන විට එම පාලම පවා තනා නිම කරමින් 1924 පෙබරවාරි 24 දින කොළඹ සිට තලෙයි මන්නාරම් තොට දක්වා දුම්රිය ආරම්භ කළ අතර එතැන් සිට ඉන්දු ලංකා නැව් සේවය අරඹන ලදී.
මරදානේ පැරැණි දුම්රිය ස්ථානය වෙනුවට වර්තමානයේ පවත්නා නව මරදාන දුම්රිය ස්ථානය තැනීම 1908 වසරේ ඇරැඹි අතර ඒ සමගම කොළඹ අන්තය දුම්රිය ස්ථානය වසා දමා දුම්රිය ධාවන මධ්‍යස්ථානය ලෙස මරදාන යොදා ගැනීම ඇරඹිණි. අනතුරුව කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයට වඩාත් සමීප බව සලකා වර්තමානයේ පවතින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදි වූ අතර වර්ෂ 1917 මාර්තු 04 වන දින එහි වැඩ නිම කර විවෘත කෙරිණි.
උඩරට මෙන්ම සාරවත් කෝපි වගාවෙන් යුතු තවත් කලාපයක් වූයේ කැලණිවැලි මිටියාවත යි. එහි වැවිලිකරුවන්ගේ ඉල්ලීම පරිදි කැලණිවැලි මිටියාවත ඔස්සේ දුම්රිය මඟක් තැනීමට යටත් විජිත පාලකයන්ගේ අවධානය යොමු වුව ද එය කඳු හා වංගු බහුල වීම මත අඩි 2.5ක පටු දුම්රිය මාර්ගයක් තැනීමට අවසාන වශයෙන් තීරණය කෙරිණි. ඒ අනුව වර්ෂ 1900 මාර්තු මස අග භාගයේ කැලණිවැලි දුම්රිය මඟ ඉඳි කිරීම ඇරඹුණ අතර වර්ෂ 1903 සැප්තැම්බර් මස 14 වන විට මරදාන සිට නුගේගොඩ, කොට්ටාව, හෝමාගම, පාදුක්ක, කොස්ගම හරහා අවිස්සාවේල්ල දක්වාත් වර්ෂ 1905 සැප්තැම්බර් මස 14 වන විට යටියන්තොට දක්වා වූ අතුරු මාර්ගයත් නිම කොට අවසන් විය. ඊට අමතරව 1908 වසරේදී අවිස්සාවේල්ලේ සිට කුරුවිට දක්වා මාර්ගය දීර්ඝ කෙරුණු අතර වර්ෂ 1912 අප්‍රේල් 18 දින රත්නපුර දක්වාත් 1916 දෑල දක්වාත් 1919 මැයි 02 පැල්මඩුල්ල හරහා ඕපනායක දක්වාත් ඉදි කෙරිණි. මේ මාර්ගය අරඹා වැඩි කලක් යාමට පෙර දුම්රියට අවිස්සාවේල්ල යටියන්තොට මාර්ගය වසා දැමුණු අතර භාණ්ඩ ප්‍රවාහනය හීන වීමත්, මහාමාර්ග පද්ධතියේ දියුණුවත් ජනතාව ලොරි වැනි රථ වාහන මගින් භාණ්ඩ ගෙන යෑමට උත්සුක වීම නිසා 1974 සිට ඕපනායක දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය ක්‍රමයෙන් වසා දැමීම ඇරැඹි අතර 1974 වන විට රත්නපුර දක්වා ම වසා දැමිණි. පසු කාලීනව මගී ප්‍රවාහන සේවා පමණක් හෝමාගම දක්වා පැවැති අතර මෙම ප්‍රදේශ නාගරීකරණය වීමත් සමග පටු කැලණිවැලි මාර්ගය පුළුල් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු විය.
ඒ අනුව කැලණිවැලි මාර්ගය පුළුල් මාර්ගයක් ලෙස සංවර්ධනය කෙරුණු අතර, වර්ෂ 1991 ඔක්තෝබර් මස වන විට නුගේගොඩ දක්වා ද 1993 අප්‍රේල් මස වන විට හෝමාගම දක්වා ද 1994 නොවැම්බර් වන විට පාදුක්ක දක්වා ද 1996 ඔක්තෝබර් කොස්ගම දක්වා ද ක්‍රි.ව. 1997 අගෝස්තු වන විට අවිස්සාවේල්ල දක්වා ද පුළුල් මාර්ගයක් ලෙස සංවර්ධනය කෙරිණි.
එසේ ම රැකියා කටයුතු සඳහා අගනුවර කරා පැමිණෙන ජනයාගේ ඉල්ලීම පරිදි රාගම සිට ජා ඇල දක්වා දුම්රිය මඟ තැනීම සිදු වූ අතර එය වර්ෂ 1908 නොවැම්බර් මස 09 වන දින විවෘත කෙරිණි. එය 1910 දෙසැම්බර් වන විට මීගමුව දක්වා ද අනතුරුව බෝලවත්ත, ලුණුවිල හා නාත්තන්ඩිය හරහා තව දුරටත් දීර්ඝ කිරීම ඇරඹී 1915 මැද භාගය වන විට මාදම්පේ දක්වා ද 1926 මැයි 12 දින වන විට හලාවත බංගදෙනිය හා පාලාවි ඔස්සේ පුත්තලම දක්වා ද දුම්රිය මඟ විවෘත කෙරිණි.
එමෙන් ම 1920 දශකය ආරම්භයත් සමග සාරවත් කෘෂිකාර්මික ප්‍රදේශ වන මහව, පොලොන්නරුව වැනි ප්‍රදේශ මෙන්ම ස්වාභාවික වරායක් සහිත ත්‍රිකුණාමලයත්, ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරකරන්ට තෝතැන්නක් වන මඩකලපුව දක්වාත් දුම්රිය මඟ ඉඳි කිරීමට අවධානය යොමු විය. ඒ අනුව වර්ෂ 1926 වසරේ මහව සිට ගල්ඔය හංදිය දක්වා දුම්රිය මාර්ගය ඉඳි කෙරුණු අතර 1927 වසරේදී ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වාත් දුම්රිය ධාවනය ඇරඹිණි. මඩකළපුව දක්වා දුම්රිය ආරම්භ කරන ලද්දේ ද මේ අවදියේදීමය.
මෙරට ප්‍රථම සිංහල දුම්රිය සාමාන්‍යාධිකාරි වූ බී.ඩී. රම්පාල මහතා 1956 දී එම ධුරයට පත් වීමත්, සමඟම මෙරට මඟී දුම්රිය සේවයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. “රුහුණු කුමාරි, උඩරට මැණිකේ, යාල් දේවි” පැමිණියේ මේ අවදියේය. විශේෂයෙන් උතුරු දකුණ යා කළ යාල් දේවිය සිය මංගල ගමන ආරම්භ කරන ලද්දේ වර්ෂ 1956 අප්‍රේල් 23 වන දින පෙ.ව. 05.30 ට ය. ඒ කන්කසන්තුරෙයි බලාය. එතැන් සිට 1985 වර්ෂය දක්වා ඇය දෙකොනට සිය සේවාව සැපයීය. එහෙත් ත්‍රස්තවාදීහු ඇයට අඩම්තේට්ටම් කළහ. 1985 ජනවාරි 19 වන දින කිලිනොච්චිය කොකාවිල් හි දී සිවිල් වැසියන් 12 දෙනෙකු හා හමුදා සාමාජිකයින් 22 ක් ද ඝාතනය කරමින් දුම්රිය මාර්ගයේ බෝම්බයක් පුපුරවා හරින ලදි. එසේම 1985 මාර්තු 16 වන දින පරන්තන් දුම්රිය ස්ථානයේ දී “උත්තර දේවි දුම්රිය” ද පුපුරුවා හරින ලදි. 1986 මාර්තු 25 වන දින වවුනියාව හා පුලියන්කුලම අතර 167වන සැතපුම් කණුව අසල දී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ “යාල් දේවි දුම්රිය” ද පුපුරුවා හරින ලදි. මේ නිසා යාල්දේවිය ගමන වවුනියාවට සීමා කළාය. එසේ වුවත් ජේ. ආර්. රජීව් සාම ගිවිසුම යටතේ යළි යාල් දේවිය උතුරට නෑගම් ගියද 1990 ජූනි මස 13 වන දින යාපනයේ සිට නිවාඩු ලබා එන යුද හමුදා සෙබළුන් ඇතුළු පිරිසක් ඉලක්ක කර යාල් දේවියට බෝම්බ තබා විනාශ කිරීමෙන් පසු යළි යාල් දේවියේ ගමන ඇණ හිටියේය.
ත්‍රස්තවාදය මෙරටින් අතු ගා දැමීමෙන් පසු උතුර යළි සංවර්ධනය කිරීමේ රජයේ වැඩ පිළිවෙළට සමගාමී ව උතුරු දුම්රිය මාර්ගය කඩිනමින් පුනරුත්ථාපනය කරන ලද අතර වවුනියාව සිට තාණ්ඩිකුලම දක්වා 2009 ජූනි 06 වන දින දුම්රිය ධාවනය ආරම්භ කරන ලදි. ඉන් පසු 2011 මැයි මස ඕමන්තෙයි දක්වා ද 2013 සැප්තැම්බර් 14 වන දින කිලිනොච්චිය දක්වා ද 2014 මාර්තු 04 වන දින පලෙයි දක්වා ද මාර්ගය තනා නිම කර දුම්රිය ධාවනයට එක් කරන ලදි. පසුගිය ඔක්තෝබර් 13 වන දින යාපනය දක්වා ම ඉදි කරන ලද අති නවීන දුම්රිය මාර්ගය ඔස්සේ යාල් දේවිය යාපා පටුනට ධාවනය කරන ලදි. ඒ පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යා හැකි මාර්ගයේය. ඇය ජනවාරි 02 වැනිදා කන්කසන්තුරෙයි දක්වා ම ගොස් ඇය තම පැරණි ගමනාන්තය සම්පූර්ණ කරන ලදී.
මේ වසර 158ක දුම්රිය ඉතිහාස කතාවයි. එදා වාෂ්ප එන්ජිමෙන් ඇරැඹුණු දුම්රිය සේවයට මුල් වරට ඩීසල් දුම්රිය එන්ජිමක් යොදවනු ලැබුවේ එංගලන්තයෙන් ආනයනය කරමිනි. ඒ එම් -1 වර්ගයේ එන්ජිමයි. ආනයනය කෙළේ 1952 වසරේදීය. ඊට වසර දෙකකට පසු කැනඩාවෙන් එම් -2 වර්ගයේ එන්ජින් ආනයනය කරනු ලැබුවේ කොළඹ ක්‍රමය යටතේය. 1954 වසරේ ආනයනය කරන ලද එම් -2 වර්ගයේ දුම්රිය එන්ජින් වලට අදට වයස අවුරුදු 60 කි. අදත් එම දුම්රිය එන්ජින් දුම්රිය මාර්ග ඔස්සේ ධාවනය වන්නේ අභිමානයෙනි.
අද වනවිට නවීන ඉන්දියානු සහ චීන බලවේගකට්ටල සහ ඩීසල් එන්ජින් සහ නවීන දුම්රිය සේවයට එක්වී ඇත.
දුම්රිය ශත සංවත්සරය 1964 දෙසැම්බර් මස 27 වන දින සමරන ලද අතර එදින ද මංගල දුම්රිය ගමන සිහි කරනු වස් පැරැණි දුම්රියට සමාන ආකෘතියකින් යුතු දුම්රියක් කොළඹ සිට අඹේපුස්ස දක්වා ධාවනය කරවනු ලැබී ය. ඒ අයුරින් ම පළමු දුම්රිය ගමනට වසර 150ක් සපිරුණු 2014 දෙසැම්බර් 27 වන දින ද වසර 100ක් පමණ පැරණි වාෂ්ප බලයෙන් යුත් ගල් අඟුරු දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය කොළඹ සිට කඩුගන්නාව දක්වා ධාවනය කරන ලදී.
(තාරක වික්‍රමසේකර 2017 වසරේ ලියූ ලිපියක් උපුටාගෙන වෙනස්කර මෙසේ පලකරමි.මුල් හිමිකම ඔහු සතුයි.)