06/06/2023
_පෘථිවියේ හායනකාරකයා_
09 කොටස (පාද යාත්‍රාව)
"ඔකඳ දේවාලය ගාවින් පටන් ගත්ත පාද යාත්‍රාවේ දෙවෙනි දවස අදයි. මේ වෙනකොට යාල මහකැලේට ඇතුල්වුණ වන්දනාකරුවන් ඊයේ රැය පහන්කලේ කුඹුක්කන. යාල කියන්නේ දිවියන්ගේ නිජබිමක්. ඒ වගේම අලි කොටි වලස්සු කිඹුලන්ගේ රජ දහනක්. අද කතාව එතැන් සිටයි.."
යාල මහකැලේට ඇතුල්වුණ බැතිමතුන් සියලු දෙනා ඉරදෙයියෝ ඉස්මුදුනට ගොඩවෙන්න කලියෙන් යන්න පුලුවන් උපරිම දුරක් ගෙවා යන්නට තමා ලෑස්තිය. ඒ හින්දා එක රෑනක් වගේ හැමෝම එක පෙලට ඉස්සරහට ඇදෙන ගමන්. මෙතනින් එහාට ගමන දුෂ්කරයි කියලා තමා දැනගන්න ලැබෙන්නේ. මේ යන වන්දනාකරුවන්ගේ අද නවාතැන වෙන්නේ ළිංතුන. කුඹුක්කන ඉදන් ගජබාව, මහිරාව, පොත්තන කියන ඉසව් පහුකරගෙන තමා ළිංතුනට කිට්ටු කරන්න තියෙන්නේ. ළිංතුන, පිලින්නාව කියලාත් හඳුන්වනවා කියලයි ආරංචිය. දමිල භක්තියකයින්නම් ළිංතුන හඳුන්වන්නේ නාවල්අඩි කියලාලු. එතකොට පොත්තන කියන්නේ බොක්කක්. අපේ ගමන මුහුද සමාන්තරවයි අද. එහෙම සමාන්තරගතව යන යාත්‍රාවෙන් අපිත් නඩයත් එක්කම නාවල්අඩිවලටම යන්නයි කල්පනාව.
අපි දැන් ඇතුල් වෙලා ඉන්නේ යාල කලාප අංක 02ට. මේ කලාපයට ඇතුළ් වෙන්න අවසරයක් නෑ. හැබැයි පාද යාත්‍රාව පටන් ගන්න කාලයට විතරක් බැතිමතුන්ට විශේෂ අවසරයක් දෙනවා මේ ඉසව්ව පහුකරගෙන යන්න. මේ ආසන්නයේමයි තියෙන්නේ ලංකාවේ දැඩි ස්වභාවික රක්ෂිතයක් විදියට නම් කරලා තියෙන යාල දැඩි ස්වභාවික රක්ෂිතය. මේ වෙන්කිරීම සොබාදහම උදෙසා කෙරෙනා වෙන්කිරීමක්. එහෙම කියන්නේ ලංකාවෙන් විතරක් නෙවෙයි ලෝකයෙන්ම වඳවී යාමේ තර්ජනය ලක්වෙලා තියෙන ජීවින් ශාඛ ප්‍රජාවන් ඇතුලු සියලු පරිසර පද්ධතීන්ට ආරක්ෂිත නිවහනක් තමා මේ දැඩි ස්වභාවික රක්ෂිතය. මේ ඉසව්වට මිනිසුන්ට ඇතුල් වීමට කිසිම හැකියාවක් නෑ. ඒ කියන්නේ මිනිස් බලපෑමෙන් තොර කලාපයක්. අනික් කාරණය තමා දැඩි ස්වභාවික රක්ෂිත, පූර්ණ ස්වභාවික පද්ධති විදියට ආරක්ෂා කෙරෙනවා. ඒ කාරණානම් වන්දනාකරුවන් විදියට අපේ හිත්වලට අස්වැසිල්ලක්. මේ කාල වකවානුවේ සිද්ධ වෙන දේවල් එක්ක මේ විදියට හරි සොබාදහම, පරිසරය රැකෙන්නට නීතියෙන් එහෙම හරි ආවරණයක් ලැබිලා තියෙනවා.
හැමදාම වගේ මෙතනදීත් මතක් කරන්න ඕනේ මිනිසා ඇතුලු සියලු ජීවින්ගේ පැවැත්ම රදා පවතින්නේ මේ සොබාදහම තුල මිසක අන් කිසිවකවත් නෙවෙයි. ඒ නිසා මිනිසාගේ ප්‍රමුඛතම වගකීම වෙන්නේ මේ සියලු වෘක්ෂලතා ආදී ස්වභාවික පරිසරයේ හුස්ම මැවුම්කාරක ආරක්ෂා කරගන්න එක. හුස්ම කියන්නේ ගස් කියන තැන ඉදන් මිනිසා තම ජීවිතයද දෙවැනි කොට සිතිය යුතු කාරණයක්. වන්දනාවේ යන අපිටත් මේ උදෑහනේ මෙහෙම හිතුනේ සියලු ජීවින් වෙනුවෙන් මිනිසා කියන ජීවියා මුල්විය යුතුයි කියලා හිතුණ නිසා. මොකද මේ වෙනකොට පෘථිවියේ හායනකාරකයා විදියට මිනිහා මුල්වී හමාරයි. උදේ පාන්දරම සීරියස් වැඩි උනාද මන්දා. ඒත් ඉතින් මේ කාරණා නොකියාත් බෑනේ.
යාල කලාප අංක දෙක කියන්නේ අලි කොටි වලසුන්ගෙන් ගහන ඉසව්වක්. යාල භූමියෙන් වැඩි කොටසක් පතන් බිම් විදියටයි තියෙන්නේ. මීට අමතරව වැඩි ප්‍රමාණයක් තියෙන්නේ වෙරළට අයිති බිම්. කුඩා ගංඟා, ලඳු කැලෑ, ආදී පරිසයන්ද මේ බිමේ සුලුබව දකින්න පුලුවන්. මැණික් ගඟ සහා කුඹුක්කන් ඔය තමා යාලේ ප්‍රධානතම ජල පෝෂකයන් දෙක. තවත් විශේෂත්වයක් වෙන්නේ පාෂාණමය ශේෂ කඳුවල පිහිටිම්. වනාන්තර අතින් ගත්තාම යාලේ වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ගණයටයි. වියළි මිශ්‍ර ගණ වනාන්තරද පවතින අතර තෘණ බිම්ද පිහිටලා තියෙනවා. බුරත, වීර, පලු, කුඹුක්, හල්මිල්ල ආදි දැවැන්ත තුරුවලින් බහුලවන අතර මයිල, කටුපිල ආදි පඳුරුවලින්ද මේ පරිසර පද්ධතිය සමන්විතයි.
ඔය සියලු පරිසර සාධක එක්ක යාල කියන්නේ වන සතුන්ගේ රජ දහනක්. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන වන සතුන්ගේ වැඩි ප්‍රමාණයකට නිවහනක්. අනික් කාරණය තමා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම විශාලම දිවි ගහණයට උරුමකම් කියන්නේ යාල. ඒත් එක්කම අලි ඇතුන්, කොටි වලස්සු, කිඹුලන්, මුවන්, ගෝනුන්, කුළු මී හරක් යන සතුන්ගෙන් යාලට අඩුපාඩුවක් නෑ. මීට අමතරව කුරුළු විශේෂ 160ක ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එයිනුත් 30ක් සංක්‍රමණිකයන් ගණයට ගැනේ. තවද ජලාශ්‍රිත පක්ෂීන් අතර ඇඹල කොකුන්, ලවිවරතුඩුවන්, සුදු කොකුන්, පිදිලි මානාවන් බහුලව දැකගත හැකියි. ලංකාවේ ජාතික පක්ෂියා වෙන වළිකුකුලාද සුලබව නෙත ගැටෙන යාලෙහි උරගයින්ද නොඅඩුව දිවිගෙවයි. ඉබ්බන් කැස්බෑවන්ගෙන්ද සපිරි මෙහි මත්සයින් උභය ජීවන්ද ඇතුලුව කෘමීන්ගෙන්ද පොහොසත්ය. තව උකුසු විශේෂයන්ටද යාල කදිම තෝතැන්නකි. එහෙම බලද්දී යාල කියන්නේ එකි මෙකි නොකි සියලු වන ජීවින්ට මෙන්ම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන අමිල බිමකි. එහෙව් බිමක පයින්ම ඇවිද යන්නට ලෑබිමත් මේ වෙලාවේ ලද භාග්‍යයක් විදියට දැනුණේ අනිච්ඡානුගවමයි.
දැන්නම් ඉතින් ඉර දෙයියෝ හෙමින් හෙමින් ඉස්මුදුනට ගොඩවෙන්න වෑයමක. එහෙම කියලා යන ගමන කවුරුත් නතර කරන එකක්නම් නෑ. ගොඩක් තැන්වල හම්බෙන්නේ වතුර හිදිලා ගිය කලපු. ගජබාව, මහිරාව කියන්නේ ඒ විදියේ කලපු. වතුර බිංදුවක්වත් නැතුවම කට්ටට පොළව ඉරිතලලා ගියපු තැනිතලා පහුකරගෙන යද්දී දැනෙන්නේ අනන්තගත අහසත් පොළවත් අතරේ පුංචිම පුංචි කූඹි රැලක් එකට ඇදෙනවා වගේ. එතකොට තමා දැනෙන්නේ මහ විසල් ලෝකයක ජීවත් වෙන, එහෙම නැත්නම් හුස්ම ගන්න එක්තරා ජීවි කොටසක් විතරයි මිනිස්සු කියන්නේ කියලා.
මේ මහකැලේ මැද්දෙන් යද්දී අදනම් නානාවිද කතා හිත් අවකාශයේ ගොඩනැගුණේ නිරායාසයෙන්මයි. ඒ ඉතින් මේ තුරුලතා ආදී සොබාදහමට තියෙන ලැදියාව නිසාම වෙන්න ඇති. ඒ තමා වන්දනාවේ ස්වභාවය. ඒ ගැනත් හිතේ තියාගෙනම අපි තවත් ඉස්සරහට යං..
නොනිමි වන්දනාවට කාලය හා අවකාශය තබමින් නවතිමු.