12/06/2016
සුප‍්‍රකට දූවිලි ඇල්ල බඹරකන්ද ඇල්ල, දියමිනි හා පියංගිරි වැනි දිය ඇලි නිර්මාණය කරමින් කිලෝමීටර් 138ක් දුර ගෙවා ගොස් අම්බලන්තොටින් මුහුදට වැටෙන ලංකාවේ සත්වැනි දිගම ගඟ වනුයේ වලවේ ගඟයි. හෝර්ටන් තැන්න නම් ජල පෝෂක මුලාශ‍්‍රය මහවැලි, කැලණිසේම වලවේ ගඟටත් ආරම්භක දියවර සපයන තෝතැන්නයි. එසේම බගවන්තලාව ඔය, අග‍්‍රා ඔය, කිරිකැටි ඔය හා බෙලිහුල් ඔය වැනි ගංඟාවලත් මූලාශ‍්‍රය හෝර්ටන් තැන්නයි. ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට වලවේ ගෙඟ් ආරම්භක උපත සොයා යෑම අද අපේ ක‍්‍රියාදාමයයි. ඒ සඳහා වනජීවි ප‍්‍රධාන කාර්යාලයෙන් විශේෂ ලිඛිත අවසරයක් ලබා ගත්තේ සම්මත සංචරණ මාර්ගයෙන් බැහැරව (off-route) කිසිවකු පය නොතැබූ වන දුර්ගයක ගමන් කළ යුතු හෙයිනි. අප සොයා ගත් හා දැනගත් තොරතුරුවලට අනුව මෙහි කාර්යාලයෙන් අවසරය ලබාගෙන ඔහිය පාරේ යන විටම තිබෙන කළු පාලම යටින් ගලන්නේ මුල් වලවේ ගංදිය බව දැනගන්නට ලැබුණි. එමනිසා අප එම ස්ථානයේ සිට නොදන්නා ගමනක් යෑමට සූදානම් වූයේ ජලය හා කැමරාව පමණක් අතැතිවයි.
සැබවින්ම මෙය අතිශය අවදානම් සහිත ක‍්‍රියාදාම චාරිකාවකි. මන්ද අප මේ යන ප‍්‍රදේශයට සාමාන්‍යයෙනින් කිසිදු කෙනකු නොයන බැවිනි. අපද දන්නේ කළු පාලම යටින් යන්නේ වලවේ ගඟ කියා පමණි. එය පටන් ගන්නේ කොතනින්ද, ඒ සඳහා කොපමණ දුරක් යා යුතුද, කුමනාකාරයේ ශාක හා සත්ව ව්‍යප්තියක් එහි තිබේද කියා අපි නොදනිමු. නමුත් මේ අභියෝගය ජය ගැනීමට අප තුළ ඇත්තේ කුතුහලය හා නොඉවසිලිමත් භාවය පමණි. අප සිතුවාට වඩා මෙම ප‍්‍රදේශයේ පවතින ගෙඟ් ස්වභාවය වෙනස්ය. ගඟ මැද හෝ ඉවුරක කිසිදු ගලක් හෝ පර්වතයක් නොමැති අතර ගෙඟ් ගලායෑමේ වේගය අතිශය මන්දගාමීය. හොඳින්ම බැලූවොතින් පමණක් ගඟ ගලන බව දැකිය හැක. විශාල තැනිතලාවේ ඈතින් ඈතට දඟර ගැසී යන ගංඟාව හඳුනාගත හැකි ක‍්‍රමයක් අප සොයා ගත්තෙමු. එනම් ගඟ දෙපස වැවෙන කුරු උණ නම් පඳුරු විශේෂයයි. එය වැවෙනුයේ ගඟ දෙපස හා තෙත් බිමේ පමණි. එම පඳුර මීටර් 2ක් පමණ උස නිසා ලෙහෙසියෙන් හඳුනාගත හැක. ගමන ආරම්භයේ පටන් ගඟට සමාන්තරව දණටත් උස වෑවර මාන හා මහ තුත්තිරි පඳුරු මැදින් මග සාදාගෙනම ඉදිරියට ඇදුණි. මීටර් 200ක් පමණ ගිය පසු ඉඩ සහිත භූමියේ ද පඳුරු මතින් යන විට සමහර ස්ථාන වලදී විශාල මඩ වළවල් ද මුණ ගැසුණි. එවිට ඒවා මග හරිමින් වෙනත් මාර්ග සාදාගෙන පඳුරු උඩින් අප ගමන් කළෙඹු. ඈතින් ඈතට කඳු වැටි කොපමණ තිබුණත් නිම්නය මැදින් ගලන ගඟ හඳුනාගත්තේ කුරු උණ ව්‍යාප්තිය මගිනි. සිතියමට අනුව ගඟ තොටපළකන්ද ප‍්‍රදේශයට යන නමුත් පරිසර පද්ධතිය ගැන හඳුනාගත නොහැකි විටෙක අපේ උසටත් වැඩි පඳුරු මැදින් මීටර් 300x400 ගමන් කළේ ඉදිරිය නොපෙනෙන ඉසව්වකටයි.
ආරම්භයේ සිටම ගඟ වම්පසට වංගු ගැසී ඇදුනත් ප‍්‍රථම කඳු වැටි දෙක පසු කර නිම්නය දිගේ ගලන්නකි. දැන් අපට රථ ගාල හෝ කිසිදු පාරක් පෙනෙන්නේ නැත. මන්ද අප කඳු වැටි පසු කරමින් ආ හෙයිනි. එක්තරා ප‍්‍රදේශයක කුරු උණ පඳුරු රාශියක් වැවී තිබුණු තරමක විශාල භූමියක් විය. එහි පොළව කලූ පාට මඩින් තෙත් වී තිබුණි. විස කටු, උල්කටු, උරගයින් හෝ වෙනත් සතුන් මෙම පරිසරයේ නැති නිසා විටෙක අපි පඳුරු ඈත් මෑත් නොකරම එක එල්ලේ ගමන් කළෙමු. සැබැවින්ම මෙය අපූරු අත්දැකීමකි. මෙපමණ කල් ගිය කැලෑ ගමන් වලට වඩා මෙම පතනේ ගමන වෙනස්ය. මුළු පතන පුරාම ඇත්තේ දණ පමණට වැවුනු පඳුරුය. දුරට බලන විට ඒවා තණකොල වැනිය. මෙසේ ගමන් කිරීමට වඩා ගං දියට බැස ගමන් කිරීම උචිත යැයි සිතූ අප ගංදියට බැසීමට තීරණය කළෙමු.
මුළු කතාවම මෙතනින් කියවන්න - http://www.lankadeepa.lk/index.php/articles/261634