27/03/2022
හරියටම දැනගෙන රට යන්න.
මේ වෙනකොට අපේ රටේ මිනිස්සු ලංකාව අතඇරලා දාලා විදේශගත වෙන එක රැල්ලක් බවට පත්වෙලා තියනවා. වයස් භේදයකින් තොරව, අධ්‍යාපන මට්ටමේ භේදයකින් තොරව පදිංචියට හරි, රැකියාවකට හරි විදේශ රටකට යන්න හැමදෙනාම උත්සාහ කරනවා. රටේ මේ වෙනකොට තියන තත්වයත් එක්ක වැඩිවෙන ජීවන වියදම, භාණ්ඩ හිඟය වගේම තමන්ගේ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති වීම රටහැරයාමේ උනන්දුව දෙගුණ තෙගුන කරලා තියනවා.
මටත් ෆේස්බුක් එක හරහා දන්න අය වගේම නොදන්න විශාල පිරිසක් එක්සත් රාජධානියට හරි වෙන කොහේ හරි රටකට යන්න පුළුවන් ක්‍රමයක් අහලා මැසේජ් කෝල් විශාල ප්‍රමාණයක් එනවා. මට විතරක් නෙමෙයි මේ වෙනකොට විදේශ රටක ජීවත් වෙන හැමෝටම මේ විදියේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලා තියනවා. සමහරු එරහම ප්‍රශ්න අහලා තමන් බලාපොරොත්තු වෙන උත්තරේ නොලැබුනාම හිතවත්කම් යාළුකම් නැතිකරගන්න අවස්ථාවන් පවා තියනවා.
මම මේ කියන්න හදන්නේ මිනිස්සුන්ගේ රටකට යන්න තියන උවමනාව වැඩි වෙන්න වෙන්න මිනිස් ජාවාරම්කාරයන්ට අහුවෙන්න තියන ඉඩකඩ ඉතාම වැඩියි. කිසිම සුදුසුකමක් නැතුව හොඳ යුරෝපා රටකට ගිහින් ඉක්මනට පදිංචි වෙන්න පුළුවන්, හොඳ රැකියාවක් කරන්න පුළුවන් කියලා ලොකු හීනයක් මවලා පෙන්නලා සල්ලි කුට්ටියක් කඩාගෙන එක්කො ලංකාවෙම අතඇරලා දානවා. එහෙම නැත්තම් කොහේ හරි රටකට ගිහින් අතඇරලා දාන්න පුළුවන්.
පහුගිය ටිකේම අපි දැක්කා ලොකු හීන මවලා පෙන්නලා එහෙම රුමේනියාවට, රුසියාවට වගේ යවපු මිනිස්සු ඒ රටවලට වෙලා අපා දුක් විඳින හැටි ලයිව් ඇවිල්ලා පෙන්නන විදිය. එයාලට පොරොන්දු උන කිසිම දෙයක් ඒ රටවලදි ලැබිලා නෑ. මේ වෙලාවේ කෙරෙන අනික් ජාවාරම තමයි රුමේනියාව, පෝලන්තය, ලිතුවේනියාව වගේ රටකට මුලින් ගිහින් හරි ලේසියෙන් ප්‍රංශයට, එංගලන්තයට, ජර්මනියට වගේ යන්න පුළුවන් කියලා මිනිස්සු රට එවන ජාවාරම.
පහුගිය දවසකත් ඒ විදියට වාහනයක් ඇතුලේ හැංගිලා රුමේනියාවේ දේශසීමාව පැනලා යුරෝපය දිහාට එන්න ආපු ශ්‍රි ලාංකිකයෝ කිහිප දෙනෙක්ම අත්තඩංගුවට පත්වෙලා තිබුනා. එ වගේම මේ දවස් වල දේශගුණය හොඳ නිසා ප්‍රංශයේ ඉඳලා මුහුද හරහා බෝට්ටු වලින් එංගලන්තයට නීතිවිරෝධීව සංක්‍රමණය වන විශාල පිරිසක් දිනපතා අත්තඩංගුවට ගන්නවා. ප්‍රංශයත් ඒ විදියට තමන්ගේ වෙරළට එන නීති විරෝධී සංක්‍රමණිකයන් අත්තඩංගුව ගන්නවා.
එක්සත් රාජධානිය වගේම යුරෝපයේ ගොඩක් රටවල් මේ වෙනකොට නීතිවිරෝධී සංක්‍රමණ හා මිනිස් ජාවාරම් නවත්තන්න විශාල ලෙස කටයුතු කරමින් ඉන්නවා. නීති තදකරනවා. දඩුවම් වැඩිකරනවා. ඉස්සරහට එංගලන්තයට නීතිවිරෝධීව සංක්‍රමණය වීම අපරාධමය වරදක් කරන්න බ්‍රිතාන්‍ය රජය තීරණය කරලා තියනවා. එහෙම උනොත් වඩා හොඳ ජීවිතයක් හොයාගෙන එන මිනිස්‍සුන්ට වෙන්නේ ජීවිතියේ ඉතුරු කාලය හිරගෙදරක ගෙවන්න.
ඒ නිසා රටකට යන්න උවමනාව විතරක් තිබිලා මදි. ඒකට අවශ්‍ය කුමනම මට්ටමක හෝ අධ්‍යාපන, වෘත්තීය පුහුණුවක් තියෙන්න ඕන. ඒ සුදුසුකම් වලට ගැලපෙන රටක් හොයාගන්න ඕනි. රටකට යන්න අවශ්‍ය වන නීතිමය පසුබිම ගැන දැනගන්න ඕන. ඒ ඒ රටවල තියන වීසා වර්ග ගැන දැනගන්න ඕනි. ලෝකේ තියන එකම වීසා වර්ගය PR නෙමෙයි. ඒ වීසා වලට ලැබෙන ප්‍රතිලාභ ගැන දැනගන්න ඕනි. අන්න ඒවා ගැන දැනගෙන රට යනවා නම් දැන් ඉන්න තත්වයට වඩා හොඳ ජීවන තත්වයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. එහෙම නැති උනොත් වෙන්නේ ඉන්න තැනිනුත් පහළට වැටෙන එක.