30/03/2024
Hike season 23/24 - pilot No - 01 |
නාරංගල 🏔️ 🍃
මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්්ත්‍රික්කවල පිහිටි රටේ උස් කඳුකර භූමිය දකුණින් ඌව පළාතින් අවසන් වේ. එය වචනයේ අර්ථයෙන්ම දැක බලා ගත හැකි කදිම ඉසව්ව වනුයේ බෙලිහුල්ඔය සිට හපුතලේට යන විට මාර්ගයේ දකුණු පස පිහිටි විශාල හෙල ඔස්සේ විහිදුණු පහත් බිම්ය. බෙරගලින් එහාට බදුල්ල දක්වා දිවෙන ඌව පළාත් මායිම ආසන්නයේ සුන්දර ඉසව් රාශියක් පිහිටා ඇත. විශේෂයෙන් මෙම පළාතේ තිබෙන කඳු මතට පහත් බිම් හරහා ගමන් කරන වලාකුළු හා මීදුම හරි අපූරුවට දැක ගත හැකිය. ඌව පළාතේ පවතින කඳු අතරින් උසින් සය වෙනි තැන ගන්නා නාරංගල කන්ද ද එවැනි කදිම ඉසව්වකි.
පිළිවෙළින් ඌව පළාතේ උසම කඳු වන උඩවේරිය I කන්ද (මීටර 2060), නමුණුකුළ (මීටර 2036), උඩවේරිය II කන්ද (මීටර 2016), බෙරගල කන්ද (මීටර 1780), ඉදල්ගස්ගින්න කන්ද (මීටර 1615) හා නාරංගල කන්ද (මීටර 1527) යනු හල්දුම්මුල්ල සිට ඔහිය හා හපුතලේ අතර සීමාවේ පවතින දැවැන්ත කඳු කිහිපයකි. ඉන් නමුණුකුළ සහ නාරංගල හාලි ඇළ නගරය ආශ්‍රිතව පිහිටා ඇති බැවින් බදුල්ලට ආභරණයක් ලෙස දක්නට ලැබේ. නාරංගල යනු ඉතාමත් වෙනස් හැඩයකින් යුත් අපූරු කන්දක් වන අතර නමුණුකුළ යනු පැහැදිලිව දැකගත හැකි කදු මුදුන් 9ක් පමණ සහිත කඳු යුගළයක් වේ. මෙම උසැති කඳු සියල්ලෙම මුදුනට ගිය විට නැගෙනහිර හා දකුණු වෙරළ තෙක් පුළුල් පරිසරයක් දැක ගත හැකිය. මන්ද දකුණට විහිදෙන පහත් බිම නිසාවෙනි.
ලංකාවේ කඳු නගින්නන් අතර තරමක් ප්‍රචලිත කඳු රාශියක්ම බෙලිහුල් ඔය සිට බදුල්ල දක්වා ඇති අතර බොහෝ විට ළඟාවීමේ පහසුව සහ සිත් පිනා යන දර්ශන පථයක් තිබීම ඊට හේතුව විය හැක. නමුත් මෙම ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ බෑවුම නිසාවෙන් බොහෝ විට වියළි කාලගුණයක් උසුලයි. එම නිසාම වසරකට වතාවක් මෙම කඳු ස්වභාවික ලෙස ගිනි ගැනීම හෙවත් ලැව්ගිනි ඇති වීම සිදුවේ.
විශේෂයෙන්ම හාවාගල, පරවියන්ගල, වංගෙඩිගල කඳු පන්තිය, බෙරගල, උඩදියලුම, ඇල්ල කන්ද, ලුනුබිස්ස, නාරංගල, උඩවේරිය සහ අවශේෂ කුඩා කඳුවල පවතින අධික මාන පඳුරු නිසාවෙන් බොහෝ කාලයක් මුළුල්ලේ පායන විටදී තද අව් රශ්මියට ස්වභාවිකවම ගිනි ගැනීමක් ඇති වේ. මීට දෙමසකට පෙර අපි වංගෙඩිගල ආශ්‍රිත කඳු පන්තිය ගිනිගන්නා ආකාරය දුටු අතර ඊටත් පෙර ගිනිගත් උඩ දියලුම, පරවියන්ගල වැනි කඳු දැක ඇත්තෙමු. තවද කලාතුරකින් විය හැකි තවත් සිද්ධියක් නම් මිත්‍යා විශ්වාස වල එල්බ සිටින ගම්මුන් වර්ෂාව අපේක්‍ෂාවෙන් මෙලෙස ලඳු කැලෑ ගිනිබත් කිරීමය.
නාරංගල යනු අප අවස්ථා දෙකකදී තරණය කළ කන්දකි. මීට දෙවසරකටත් එපිට සංචාරකයින්ගේ නෙතින් වසංව තිබූ නාරංගල කඳුවැටියේ සැබෑ සුන්දරත්වය අපගේ මුහුණුපොත ‘‘සොබාසිරි’’ පිටුව හරහා හෙළි කළ අතර ඉන්පසු ගත වූ කාලය තුළ නාරංගල සුන්දරත්වය නැරඹීමට බොහෝ පිරිස් ගියහ. නාරංගල කඳු මුදුනත යනු නෙත් වශීකරන සහ සිත් පැහැර ගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දකි. මන්ද කඳු මුදුනටත් තෘණ සහ මානා පිහිටීමේ අපූර්වත්වයයි.
නමුත් බොහෝ අයට රාත්‍රී කඳවුරු බැඳීම මගහැරුණද ඇතැමුන් කඳවුරු බැන්දද ඔවුනට පවා මහහැරී ගිය සුන්දර දසුන් කිහිපයක් පසුගිය වරෙක නාරංගල චාරිකාවේ යෙදුණු මිතුරන් හට විඳගැනීමට ලැබුණි. ගුවන් යානයක යන විට අඩි දහස් ගණනකට උඩදී කවුලුවෙන් පිටත බලන විට පහළින් වලාකුළු රොද පෙනෙනා දර්ශනයම අපට නාරංගල කඳු මුදුනේ දැක ගැනීමට ලැබුණි.
කොළඹ සිට බදුල්ල පාරේ රත්නපුර, බලංගොඩ පසුකොට බෙරගල හරහා හපුතලේට දිවෙන මාර්ගයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමට වදන් ගැළපෙන්නේ නැති තරම්ය. මන්ද පසෙකින් දැවැන්ත ගල් බිත්තියත් අනෙක් පසින් මහා ප්‍රපාතයන් ඒ තුළ ක්ෂිතිජ ඉමට දිවයන පහත් බිම් කඩත් දුටුවෝ සිත නිතැතින්ම මාර්ගය අසල රථවාහන නතර කොට එම සුන්දරත්වය විඳීමට ප්‍රිය කරති. එ් නිසාම ස්ථාන කිහිපයක ආරක්‍ෂාකාරී නැරඹුමේ ස්ථාන කිහිපයක් වර්තමානය වන විට මාර්ගය අසල ඉදිකොට ඇත.
දකුණු දෙසින් සමනල වැව, උඩවලව හරහා පැහැදිලි දිනක දකුණු වෙරළ තීරය දක්වා වුව දැකගැනීමට හැකි බව නොරහසකි. හපුතලේ නගරය පිහිටියේ මධ්‍යම කඳුකරයේ බෑවුමත් පහත් බිමේ ප්‍රපාතයට ඉහළිනුත් නිසාවෙන් හපුතලේ නගරය බොහෝ විට මීදුමෙන් හා සුළඟින් වෙලී යන නගරයකි. හපුතලේ සිට බොරලන්ද, මාර්ගය හරහා හෝර්ටන් තැන්නටත්, තවත් පසෙකින් බොරලන්ද, වැලිමඩ හරහා නුවරඑළියටත් අනෙක් පසින් බදුල්ලටත් යා හැකි වේ. හපුතලේ පසුකොට හරිත යායෙන් වෙළාගත් තේ වතු අතරින් වංගු ගැසී යන මාර්ගයේ දියතලාව පසුකොට බණ්ඩාරවෙලට සේන්දු වේ.
බණ්ඩාරවෙලින් ඔබට දඹේතැන්නට යන මාර්ගයේ ගොස් ලංකාවේ දිස්ත්‍රික්ක රාශියක් එක් ස්ථානයක දැකිය හැකි ලිප්ටන් සීට් වෙත යා හැකිය. තවද බණ්ඩාරවෙල පසුකොට යන විට හමුවන කුඹල්වෙල මංසන්ධියෙන් දකුණට හරවා පිටරැටියනගේ දේශීය ගම වන ඇල්ල නගරයට ගොස් එහි ඇති සොබා නිර්මාණ සේම දෙමෝදර අරුක්කු නවයේ පාලම වැනි විශ්චිත මිනිස් නිර්මාණ පවා බලා ගත හැක.
☘️🏔️🌻☀️