14/11/2021
✿°__ මීමුරේ __°✿
මේ නිවාඩුවට මීමුරේ යන්න හිතන් ඉන්න හැමෝම වෙනුවෙන් .නිකන්ම නිකන් ගමනක් නොවී යමක් දැනගෙන යන්න.
ඉතින් දුම්බර මිටියාවතේ සුන්දරම ගම්මානය වන මීමුරේ ගැන ඔබ දත් නොදත් විස්තර කීපයක් මෙලෙසින් .....
________________
නුවර මහියංගන ප‍්‍රධාන මාර්ගයේ නුවර සිට මහියංගනය දෙසට කිලෝමීටර් 43 පමණ ගිය තැන්හි මුණගැසෙන හුන්නස්ගිරිය නගරය නකල්ස් කඳු වළල්ලෙහි පිටත මායිමෙහි පිහිටා ඇත. හුන්නස්ගිරිය නගරයෙන් මදක් ඔබ්බට වන්නට ප‍්‍රධාන මාර්ගයෙන් වම්පසට හැරී ගමන් කරන නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ කිලෝමීටර් 36ක පමණ දුරකින්, නකල්ස් හා දුම්බර කඳු පන්ති මධ්‍යයේ මීමුරේ නම් පිටිසර ගම්මානය පිහිටා ඇත.මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකට සමාන්තරව පිහිටා ඇති දුම්බර මිටියාවත, මධ්‍යම කඳුකරයෙන් වෙන්ව පිහිටා තිබෙයි.
දිනයේ බොහෝ වේලාවක් මීදුමෙන් බරව පවතින නිසා මෙයට දුම්බර මිටියාවත ලෙසද හැඩි දැඩි පුද්ගලයකු තම අතමිට මොලවා ගත් කලක් දිස්වන ආකාරයට පිහිටා ඇති බැවින් නකල්ස් යන නාමයද පටබැඳී ඇති බවක් කියැවේ.
මීමුරේ ගම්මානයට පිවිසිය හැකි පහසුම මාර්ගය එය වුවත් මාතලේ-නාරංගමුව-ලග්ගල හරහාද , හසලක-සුළුගුණේ-දණ්දෙනිකුඹුර හරහාද වනගත මාර්ග දෙකක් අපට හදුනාගත හැක. අද වනවිට එකී මාර්ග ගම්වැසියන්ගේ අඩිපාරක් ලෙසට පමණක් පවතින්නේ එහි ඇති දුෂ්කරබව හා අවම වශයෙන් කිලෝමීටර් 8ක් පමණ පා ගමනින් යා යුතු බැවිනි.
හුන්නස්ගිරියේ සිට මීමුරේ ගම්මනායට යන ඕනෑම අයෙකුට අතරමගදී මුණගැසෙන ගම්මාන කීපයකි.නවනගල-කොබෝනීල-ලූල්වත්ත-අට්ටලවෙට්ටුව-කුඹුක්ගොල්ල-කරඹකැටිය-කයිකාවල ඒ අතර මූලික වේ.නවනගල සහ කොබෝනීල යන කුඩා ගම්මාන වල දමිල ප්‍රජාව ජීවත් වන අතර අට්ටලවෙට්ටුව නම් ස්ථානය මීමුරේ මාර්ගයේ ඇති සුලං කපොල්ලක් වේ.අටලවෙට්ටුවෙන් අද වන විට තංගප්පුව-උඩිස්පත්තුව-තෙල්දෙණිය ගම්මාන වලට යෑමට අතුරු මාර්ගයක් දැකගත හැක.මීමුරේ සංචාරයේ යෙදෙන අයෙකුට කුඹුක්ගොල්ල ගම්මානයෙන් පුරාණ වෙඩිලුණු ගුහාවට මාර්ගය දැකගත හැකි අතර කරඹකැටිය නම් ගම්මාන්යෙන් අළුගල්ලෙනට මාරගය වැටී ඇත.
මීමුරේ ගම්මානයට පැමිණෙන ඕනෑම අයෙකු ගම්මානයට පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මී ගසයි.මහා පතාක යෝදයෙක් සේ ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගත හැකිය.මීමුරේ ගම්මනයේ සංකේතය බදු පරසිදු ලකේගල ඈත අතීතයේ පටන් මීමුරේ ගම ආරාක්ශා කරනා දේවතාවෙකු ලෙස ගම් වැසියන් විස්වාස කරයි.බටහිර හා වයඹ දිශානුගතව විහිදෙන්නේ තවත් සුප්‍රකට කඳු වැටියක් වන තුන්හිස්‌ගල කඳුවැටියයි. නිරිතදිග සිට දකුණට බරව මීමුරේට දිස්‌වන්නේ අළුගල් ලෙන කඳුවැටියයි. කඳු හෙල් මත පතිත වන හිරු රැස් විවිධාකාර හැඩතල මවන අතර රාත්‍රී කාලය එළැඹෙත්ම මේ කඳු මුදුන් මතින් මීදුම ගලා එයි. කිරිගල් පොත්ත, ගොම්බානිය, නකල්ස්, කොබෝනිල්ලගල, දොතළු ගල, කළු පහන, වමාරපු ගල, ලකේ ගල, ලබු පැලැස්ස පතන, දුම්බොන ගල, ගල් කුල, ඇදිරි ගල , යහන් ගල ආදි වශයෙන් මී මුරේ වටා නැඟී හිඳින කඳු වැටි ගණනාවකි.
මීමුරේ ගම්මනයෙන් තරමක් වනයට තුලට වන්නට සුදෝ සුදු පෙණකැටි නංවමින් පහලට රූටා වැටෙන දිය ඇලි ගනනාවකි.ගලමුදුන අහස්ගව්ව ඇල්ල-කලුපහන පිණිසිළු ඇල්ල-ඔයබොක්ක සේදමල් ඇල්ල-කළුකැලේ ගල්තුඩු ඇල්ල මේ අතර මූලික වේ.
සුදු ජාතිකයින් කන්ද උඩරට ආක්‍රමණය කළ සමයේ රාජසිංහ රජුට සැඟව සිටීමට සැලසුම් කළ, මීමුරේ ඉදිකොට ඇති වරිච්චියෙන් සකස් කළ මැද මිදුලක් සහිත ඉපැරැණි නිවෙස අදටත් මෙහි දක්නට ඇත. රජුගේ පැමිණීමට පෙර, ආරක්ෂාව පතා බිසෝවරු දෙදෙනකු මී මුරේ වෙත පැමිණි අතර ඔවුන්ට දිය නෑම සඳහා ඉදිකළ කටු පඳුරේ ළිඳ අදටත් ගම්මානයේ පවතී. එකල මෙම ළිඳ වටා විශාල කටු පඳුරු සහිත පවුරක් සකසා තිබු බැවින් එය ‘කටු පඳුරේ ළිඳ’ නමින් ව්‍යවහාර විය. අදට ද ගම්මුන් ඒ ළිඳ හඳුන්වනුයේ එනමිනි.රාජසිංහ රජු, මීමුරේ වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ එහි ආරක්ෂාව හොඳින් සැලසුම් කළ පසුය. ගම්මානයට ඇතුළුවන තැන මංකඩ සතරක් ඉදිවූයේ ඒ සඳහාය. ‘රුප්පේ’ නමින් හැඳින්වෙන මෙම ස්ථානවල මුරකරුවන් දිවා රෑ රැකවලෙහි යෙදිණි. සියල්ල එසේ සැලසුම් කළ ද රජුට මී මුරේ එන්නට ලැබී නැත. ඒ එන්නට පෙර අධිරාජ්‍යවාදීන් රාජසිංහ රජු අත්අඩංගුවට ගත් බව සැළවිණි.එහෙයින් අදත් බොහෝ දෙනකුගෙන් වසන් වූ දුම්බර කඳු වළල්ලෙන් වට වූ ස්වභාවික අධි ආරක්ෂිත කලාපයක් වන මීමුරේ රසවත් අතීත ඉතිහාසයක නොබිදුනු තෝතැන්නක් වේ.
පවුල් සියයක් පමණ දිවි ගෙවන මීමුරේ වූ කලී ශ්‍රී ලංකාවේ පැරැණිතම ගම්මානයකි. උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙම ගම්මානය සේම, දන්දෙණිකුඹුර, කයිකාවල, ගලමුදුන, උඩගල දෙබොක්‌ක, මහනුවර දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කරම ගම්මාන ලෙස අපට හදුනාගත හැකිය. ගම්මානය තුලට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මළු ක‍්‍රමයට වගා කෙරුණු රමණීය වෙල්යාය ද, කඳු මුදුනින් ගලාවිත් මුළු ගම්මානයම සරු කරමින් පහලට ගලා බසින මී ඔය නොහොත් දිමිගල් ඔයද දැකිය හැක.ඉහත කී මී ඔය හැවනිවල නම් ස්ථානයේදී කයිකාවල ගම්මානය හරහා පල්ලම් බැස එන පුස්සෙ ඇල හෙවත් කයිකාවල ඔය හා එක් වෙයි.ඉන් පසු හීන් ගග ලෙසට ගම්මානයෙන් ඊසාන දෙසට පල්ලම් බසිනුයේ මහවැලි නදියට ජලය සපයන ප්‍රධාන අතු ගංගාවක් ලෙසටය.මී ගස අසලම ඇති මීමුරේ කනිෂ්ඨ පාසලද , ඉහල කුඹුරේ කෙලවරට වන්නට තිබෙන කුඩා දේවාලයද , කුඩා වෙලද සැල් දෙකද , එන අතරමග පිහිටි කුඩා පන්සලද මීමුරේදී දක්නට ලබෙන සුවිශේශි ස්ථාන වේ.
සෑම විටකම අවයාජ සිනාවෙන් මුව සරසාගෙන සිටින මිමුරේ ගම් වැසියන් ස්වයංපෝෂිත පිරිසක් වේ.කුඹුරු ගොවිතැන අවුරුද්දට බොහෝවිට එක කන්නයක් පමණක් සිදුකර අනෙක් කන්නයේ බෝංචිද අතුරු බෝග ලෙස කුරහන්,තල,මෙනේරි,මිරිස්.බඩඉරිගු ආදියද කිතුල්පැණි හා හකුරු නිශ්පාදනය බොහෝවිට අපට දැකගත හැකිය.
ගම්මානයෙන් ගිනිකොණ දිග බෑවුමට වන්නට ඇති ගොරකාත්තාව / ඉලුක්හේන / තනහෙන්ලන්ද / දණ්දෙණිකුඹුර ආදී ගම්මාන මේ වන විට ජනශූනය වී ගමවැසියන්ගේ කුඹුරු බවට පත්ව ඇත.දණ්දෙණිය නම් ගමේ වර්තමානයේ වසන්නේ එක් පුද්ගලයෙකු පමණි, හේ නමින් අඹගහගෙදර හීන්බණ්ඩා නමින් හැදින් වේ.අවට ගම් හත අටටම සිටිනා ප්‍රධාන සර්ප ආයුර්වේද වෙද මහතා ඔහුය.දේශීය කුඹුරු ගොවිතැනේ සුන්දරත්වය හා අත්දැකීම ඔබට මීමුරේ සංචාරයේදී නිතැතින්ම විද ගත් හැකිය.මීට අමතරව මනා ජෛව විවිධත්වයකින් හෙබි වනාන්තරය තුල නිදහසේ සැරි සැරීමටත්, කඳු තරණය කිරීමට හා මී ඔයෙහි ත‍්‍රාසජනක ජල කී‍්‍රඩා වන්හි නිරත වීමටත්, අලූ කෑදැත්තා ඇතුලු ලංකාවට ආවේනික සත්ව විශේෂ නැරඹීමටත් එන සංචාරකයන්ට අවස්ථාව උදාවේ. විශේෂයෙන්ම ගම්මානයට ආවේණික වූ මඩු පිට්ටු / මඩු වැලිතලප වැනි ආහාර භුක්ති විදීමට හා පිරිසිදු කිතුල් රා වලින් සප්පායම් වීමටත් මීමුරේ ගම්මානය කදිම තෝතැන්නකි.
දෙසැම්බර් මාසයේ ඉහලම වර්ශාපතනය ලැබෙන මීමුරේ ගම්ම්මානයේ සුන්දරම කාලය ලෙස ජනවාරි සිට මැයි මස දක්වා හැදින්විය හැක.ජුනි මාසයේ සිට තරමක් වියැලුණු සවරූපයක් ගත්තද ගොයම් කපන කාලය මෙය බැවින් එකී දේ දැකගන්නට එන සංචාරකයන් නිසා මීමුරේ අවුරුද්ද පුරාම සංචාරක පරාදීසයක් වේ.මීමුරේ සංචාරය කරන ඔබ වෙනුවෙන් නවාතැන් පහසුකම් සපයන්නටත් අපේකමට අපේ දේ ලාංකීය සුවදින් ලබාදෙන්නටත් යමං කණ්ඩායම නිරන්තරයෙන් සූදානමින් සිටී.මීමුරේ සංචාරය කරන ඔබ වෙනුවෙන් කිව යුත්තේ නිසි මග පෙන් වීමක් ඇතිව මේ සුන්දර ගම්මානය දැකබලා ගන්න පැමිණෙන ලෙසටත්, අනගත පරපුර උදෙසා මෙය රැකගනු වස් මෙයින් නික්මෙන කල්හි මතක සටහන් පමනක් රැගෙන පිය සටහන් ඉතුරු කර යන ලෙසටය.
✍ සටහන - කල්ප
📸- Yamangraphy
අපි "යමං"
✆ :+94715557252