30/06/2022
අමෙරිකාවේ නඩු කියන්න අනේ අපිට ඩොලර් දෙන්න?
ශ්‍රී ලංකා රජයට විරුද්ධව ස්වෛරී බැඳුම්කරc ණය නොගෙවීම සම්බන්ධව ඉතිහාසයේ පලමු වතාවට අමෙරිකාවේ හැමිල්ටන් රිසව් බැංකුව (Hamilton Reserve Bank) 2022.6.21 දින නඩුවක් (Civil Action No. 1:2022cv05199) පවරා තිබෙනවා. මෙම නඩු කොපියේ සඳහන් කරුණු පිරික්ෂීමේදි , ලංකාවේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතෛෂී දේශපාලන පත්වීම් ලද ඉහළ පිරිස් වල දූෂිත ගනුදෙනු රාශියක් හෙළිදරව් වෙනවා. ඒවා තහවුරු කිරීම සඳහා Hamilton Reserve බැංකුව ලේඛන 17ක් නඩු කොපියට අමුණා තිබෙනවා. මෙම ලිපියේ අරමුණ වන්නේ අදාළ නඩුකරයේ ඇති කරුණු කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමයි.
1. ශ්‍රී ලංකා මහබැංකුව මුදල් අමාත්‍යාංශය හරහා නිළ ප්‍රකාශයක් නිකුත් කරමින් 2022 අප්‍රේල් 12 වන දින සියළු විදේශ ණය සහ ස්වෛරී බැඳුම්කර ගෙවීම් නවතා දමනවා. මේ වන විට ලංකාව ගෙවීමට ඇති සමස්ත ණය මුදල ඩොලර් බිලියන 60 කට වැඩි වෙනවා.
2. හැමිල්ටන් රිසර්ව් බැංකුව සතුව ඇති ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයේ 2022 අප්‍රේල් 18 ගෙවීමට තිබූ ණය වාරිකය (මුළු මුදලින් 25%) සහ පොලිය (Principal & Interest ) ඩොලර් මිලියන 257,539,331.25 මුළු මුදල නොගෙවීම, දෙවතාවක් කාලය දීර්ඝ කර දී 2022 ජූලි 25 කල්පිරෙන අදාළ වාරිකය ගෙවීමට කටයුතු නොකිරීම හේතු කොටගෙන ගිවිසුම් කොන්දේසි කඩකිරීම මත මෙම නඩුව පවරා තිබෙනවා. පැමිණිලිකරුගේ ඉල්ලීම් කිහිපය අතර තීන්දුව දෙන දිනය දක්වා නීතිඥ සහ අනෙකුත් ගාස්තු සහ ණය පොලියද ඊට ඇතුළත් විය යුතු වෙනවා. (2023 අප්‍රේල් 18 සහ 2028 අප්‍රේල් 18 කල්පිරෙන තවත් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර දෙකක් එම බැංකුවටම ගෙවීමට තිබෙනවා).
3. එම නඩුකරයේ සඳහන් වන අන්දමට රාජපක්ෂ පවුල සොරකම් කල ඩොලර් බිලියන ගනනක් සහ තවත් නිස්චල දේපළ ඩුබායි , සීශෙල්ස්, සහ සාන්ත මාටින් දූපත් (St. Matin) වල රහසිගතව සඟවා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඊට අදාළ ලේඛන 17ක් අදාළ නඩුකරයට අමුනා තිබෙනවා.
4. ඒ වගේම අමෙරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධ වී තිබෙන්නේ Mr. Ten Percent ලෙසත් එසේ වීමට හේතුව ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ රටේ ක්‍රියාත්මක වූ සියළු ව්‍යාපෘති වලින් 10% ක කොමිස් මුදලක් ලබා ගත් නිසා බවත්, ඔහු සහ ඔහුගේ පවුල සතු නිවාස සහ දේපල රාශියක් අමෙරුකානු භූමිය තුල තිබෙන බවත් නඩු කරයේ සඳහන් වෙනවා.
5. එම නඩුවේ සඳහන් වන තවත් කරුණක් වන්නේ බැඳුම්කර හිමි ලාංකිකයන් හට පොලිය සහ සම්පූර්ණ වටිනාකම කල්පිරීමේදි ගෙවීමට කටයුතු කොට ඇති බවත් (කබ්‍රාල් ඉවත්ව යාමට පෙර හදිසියේ ගෙවු ඩොලර් මිලියන 500 ද ඇතුළුව), එහෙත් විශාල වශයෙන් බැදුම්කර මිලදීගෙන ඇති Fidelity Investments , Black Rock , JP Morgan වැනි විදේශීය බැංකු සහ මූල්‍ය ආයතන වලට ගෙවීම් නවතා දමා ඇති බවත්, මෙසේ ගෙවීම් පැහැර හැරීම තුල සමානව සැලකීමේ මූලධර්මය ශ්‍රී ලංකා රජය උල්ලංඝනය කොට ඇති බව සඳහන් කරනවා .
6. ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවට කිසිදු නෛතික හිමිකමක්, අධිකරණ බලයක් (Jurisdiction ) හෝ මුක්තියක් (Immunity ) හිමි නොවන බවත් නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය ලබා දෙන තීන්දුව මත ශ්‍රී ලංකාවේ කිසියම් වත්කමක්, දේපළක්, ආදායම් මාර්ගයක් අත්පත් කරගැනීමට හැකි වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් (Sri Lanka has consented ) අදාළ හැමිල්ටන් රිසර්ව් බැංකුව නියෝජනය කරනු ලබන බ්ලෙයිච්මර් ෆොන්ටි ඔල්ඩ් එල් එල් පී (Bleichmar Fonti & Auld LLP නීතිඥ සමාගම එම නඩුකරය මගින් කියා සිටිනවා.
මෙහි තිබෙන ප්‍රධාන ප්‍රශ්නය නම් , මෙම නඩු කරය ගොනුකොට තිබෙන්නේ රාජපක්ෂලාට හෝ කබ්‍රාල්ලාට විරුද්ධව නොව, ශ්‍රී ලංකා රජයට විරුද්ධව යි. මේ සඳහා රජය , මහ බැංකුව , මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් ඉදිරිපත් වන නීතිඥයන්, නඩුවේ චූදිතයන් හැටියට රජය නියෝජනය කිරීමට ඉදිරිපත් විය යුතු නිළධාරීන් , තානාපති කාර්යාල මැදිහත් වීම් සඳහා වියදම් කල යුත්තේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපියි. අපේ මිනිසුන් විදේශ රටවල කඹුරා එවන ඩොලර් ටිකයි . මේවා හොරකම් කල එවුන්, පවුල් පිටින් සුවසේ ජීවත් වනු ඇති. නැතහොත් ඔවුන්ගේ වත්කම් දේපළ සඟවා තිබෙන රටවලට ගුවන් ගත වනු ඇති. එහෙත් ඔබ කුමක් කරන්නද? කීමට ඇත්තේ මෙය අප විසින් ඇති කල ප්‍රශ්නයක් නොව එක පවුලක් විසින් කල අපරාධයක ප්‍රතිඵලයකි. එහෙත් මේවා දැකීමට , ඇසීමට , කියවීමට අකමැති පිරිස් තවත් මේ කම්බාහොරුන් වන්දනාවේ යෑම පුදුම සහගත ය. මා නම් සිතන්නේ මෙය ඔවුන්ගේ පරිනාමීය සංකූලතාවයක් නිසා ඇති වී ඇති ජාන ව්කෘතියක ප්‍රතිඵලයක් හේතුවෙන් දීන ජාතියක් ලෙස ජීවත් වීමට දක්වන කැමැත්ත විය හැකි බවයි ..................
ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
26.6.2022
මෙම ලිපිය ඔබගේ මිතුරන් අතර හුවමාරු කරන්නේ නම් මැනවි ...........