27/12/2020
නෙදර්ලන්තයේ ප්‍රදර්ශණයට තබා ඇති කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කස්තාන සහ කිනිස්ස
මහනුවර රාජධානියේ රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේයැයි (ක්‍රි.ව 1747-1782) සැලකෙන මෙම කස්තාන දෙක සහ කිනිස්ස වර්තමානයේ නෙදර්ලතයේ රයික්ස් කෞතුකාගාරයේ (Rijksmuseum) ප්‍රදර්ශණයට තබා ඇත.
ඉතා අලංකාර සියුම් රන් සහ රිදී කැටයම්වලින් යුත් මේවා ඉතා විශිෂ්ට නිර්මාණවේ. රන් කස්තානය 78.6cm දිගින්ද , රිදී කස්තානය 61.5cm දිගින්ද, කිණිස්ස 29.5cm දිගින්ද යුක්තවේ.
1765 වසරේදී ලන්දේසින් (ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගම /V.O.C) මහනුවරට එල්ලකළ ප්‍රහාරයේදී මෙම කස්තානා දෙක සහ කිනිස්ස මහනුවර රජුගේ මාලිගාවෙන් ලන්දේසින් අතට වන්නට ඇතැයි විස්වාස කරයි.
මේවා රජුගේ පෞද්ගලික දේපළ වලට අයත්වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මක්නිසාද යත්, එකල රන් මිටක් සහිත පිහියක් සහ කඩුවක් පැළඳීමට හිමිකම් ඇති එකම තැනැත්තා මහනුවර රජු වූ අතර එම නිසා මේවා රජුට අයත් වූ බව විශ්වාස කිරීම සාධාරණය.
මහනුවර රාජධානියේ රිදී කස්තාන පැළදීම සිදුකළේ ආදිකාරම්වරු විසිනි. මෙම රිදී කස්තාන මහනුවර රජුගේ වැඩපළවලදී නිර්මාණය කර ආදිකාරම්වරු බලයට පත්වන විට රජු විසින්ම ඔවුන්ට ලබාදෙන ලදී. එම නිසා මෙම රිදී කස්තාන මහනුවර රජු විසින් ඉහළ නිලධාරීන්ට (ආදිකාරම්වරුන්ට) ලබාදීමට නිර්මාණය කළ ඒවා විය හැකිය.
1765 ජනවාරි 4 වනදා ආරම්භවූ ලන්දේසි ආක්‍රමණයේදී සෙබළුන් 4400 කට අධික සංඛ්‍යාවක් සහිත වූ ලන්දේසින් හමුදා, පෙබරවාරි 16 වන දින ගෝනවල, ගලගෙදර, වැඋඩ සහ කටුගස්තොට හරහා ඉදිරියට ගොස් පෙබරවාරි 19 වනදා පමණ මහනුවරට ඇතුළු වී එහි පාලනය සියතට ගත්හ. මෙහිදී රජු නගරය හැරගිය අතර මාළිගාව පළමුව නගර වැසියන්ද (මෙහි සත්‍යතාවය පැහැදිලි නැත) දෙවනුව ලන්දේසින් විසින්ද කොල්ලකන ලදී. මෙම කස්තාන දෙක සහ කිනිස්ස මෙහිදී ලන්දෙන්සින් සතුවන්නට ඇත.
ඉතා කෙටිකලක්දි ලන්දේසීන් මහනුවර නගරය හැරයාමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් අගෝස්තු 25 (1765) දින නගරය අතහැර යාමට තීරණය කළ අතර 31 දින මහනුවරින් පසුබැසීම ආරම්භ කළහ.
එම වසරේදීම (1765) ධුරයේ දී මියගිය ලන්දේසි ලංකාවේ ආණ්ඩුකාර බාරොන් ලුබර්ට් ජෑන් වැන් එක්ගේ සතු වූ භාණ්ඩ ලැයිස්තු (inventory) වල මෙම කඩු සඳහන් වේ.
පෙර සදහන්කල පරිදි මේවා වර්තමානයේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් රිජික් කෞතුකාගාරයේ (Rijksmuseum, Amsterdam) අතිවිශාල පෙර අපරදිග පුරාවස්තු එකතුව අතර ප්‍රදර්ශණකුටි අංක 1.5 හි ප්‍රදර්ශණයට තබා ඇත.