22/08/2023
ශිෂ්ටාචාරයේ දුහුවිලි තුලින් කතරගමට (පාද යාත්‍රාව අවසන් කොටස - 05)
කලින් කොටස් සේරම page එක පුරාවට තියනවා...
වරහන පසු කල වහාම දුරකථන වල සිග්නල් පැහැදිලිව ලැබෙන්න විය. වරහන පාලමේ සිට කතරගම දක්වා මුළු දුර 22km විය. නමුත් අප කාණ්ඩයේ අරමුණ වුයේ කටගමුවට ගොස් නැවත වැන් රියෙන් කතරගමට යාමටයි. මගේ සිත ඊට විරුද්ධ අයුරින් වැඩ කරන්න වූ අතර දිගටම කතරගම යාමේ අදහස නුවන් මල්ලිට පලකරන ලදී. ගිහින් බලමු අයියේ , නුවන්ගේ පිළිතුර විය. වරහන පාලම මතින් යාල කලාප දෙක සහ එක වෙන්කරන අතරම මෙම මාර්ගය කෙලින්ම කටගමුව වෙත දිවයයි. තවමත් උදෑසන වුවත් හිරු රශ්මිය එන්න එන්නම වැඩිය. මහා රූස්ස ගස් අතර තැනින් තැන තවමත් හමුදා සොල්දාදුවන්ය. ‘‘යාල ජාතික උද්යානය, කලාප අංක 2,3, ඇතුලූවීම අවසර ලත් වාහන සදහා පමනි’’ යනුවෙන් අප ඉදිරියෙන් පුවරුවකි. කොතරම් දුෂ්කර වුවත් මෙවන් රක්ෂිත වනයක ඇවිදිමට වරම් ලැබීම වාසනාවක් යැයි මට සිතිනි. එහි ගෞරවය හිමිවිය යුත්තේ අන් කිසිවෙකුටවත් නොව මෙම සංස්කෘතික මංගල්ය වෙනුවෙන් කැප වී සිටින සහෝදර දෙමළ ජනතාවට ය.
මැණික් ගගෙන් දුරස් වනවාත් සමගම අව්ව සැරෙන් අප තවත් වේලන්න විය. නමුත් දමිල ජනයාට නැවත පණක් ලැබුනක් මෙන් ඔවුන් ගමනේ අවසන් අදියර උද්යෝගයෙන් ගමන් කරන්න විය. මේ අතර අපේ නඩේ කීප දෙනෙක් නැවත එකතු කරගැනීමට අපට හැකි විය. ඒ අතර පළමුව ගමන් කල ප්‍රසන්න ප්‍රධාන මාර්ගයට අවතීරණ වී එවන ලද ජයාරුපය අප තවත් දිරිමත් කරන්න විය. වනොද්‍යානය මග දෙපස ඇති මහා පලූ ගස් මුල ගණ දේවි රූපයක් හෝ යම් දේව සලකුණු වෙති. උදෑසනම ඒ අසලින් ගිය බැතිමතුන් වන්දනා කරන ලද බවට දැල්වෙන පහන මනාවට එයට සාක්ෂි සපයයි.
අප ඉදිරියෙන් උදෑසනම වරානෙන් පැමිණි විශාල පිරිසක් ගමන් කරයි. ඒ වන විටත් ඇතැම් අය කිලෝමීටර් 100ට වඩා දුර ගෙවා ඇතත් ඔවුන් කිසිවෙකුගේ මුහුනේ විඩාවක් නැත. බොහෝ දෙනෙක් ගමන් කරන්නේ පයට කිසිවක් නැතිවය. එක විටම නැවතත් අලි රංචුවක් සැරි සැරූබවට කියන සාධක් විශාල ගණනාවකි. නමුත් ඇදී එන ජන ගග නිසාවෙන් සතුන් තරමක් දුරස්ව සිටි, මෙකල යාල කාලප එක නැරබීම ජීප් රථයෙන් එන සංචාරකයෙකුට ඉතාමත් අලාභයක් ගෙන දෙන්නක් විය.
වරහන වැව , කොරවක් වැව සහ ගෙරිමස් පොකුණ පසු කරමින් අප කටගමුවට ආසන්න විය, කටගමුව අසලට එනවිට උදයම වනයට ඇතුල්වූ සංචාරක ජීප් රථ නැවත එලියට ඇදෙන්න විය. ජන ගඟ දුටු විදේශිකයන් පුදුම වූ බවක් පෙනෙන්න විය, දැඩි රක්ෂිත වනයක් මැද ගිනි අව්වේ පිච්චෙමින් ඇදෙන දමිල ජනයා දෙස කාරුණිකවත්, ගෝනි බිල්ලන් මෙන් පොරවන් සිටි අපි දෙස අමුතු ලෙස සිනාමුසුව බලමින් ඔවුන් සතුව ඇති කෑමට, බිමට තිබෙන සියල්ල බෙදන්න විය. ඒ අතරවාරයේ මග පෙන්වන්නන් මේ කුමන අරමුණකින් යන ගමනක්ද වග විදේශිකයන්ට පැහැදිලි කරන ලදී.
යාල ජාතික වනෝද්යානය ලංකාවේ දෙවන විශාලම වනෝද්යානය වන අතර එය වර්ග කිලෝමීටර 1260 ක ප්‍රදේශයක් පුරා වියාප්ත වුවද, එම සම්පුර්ණ ප්‍රදේශයෙන් පහෙන් එකක් පමණක් සංචාරකයන්ට විවෘත කර තිබේ. ඉතිරිය ස්වභාවික අධි රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. අපේ කලබලයට මග හැරුණද අනෙකුත් සියලුම වන උද්යාන වලට සාපේක්ෂව ඉහලම වන ජීවී විවිධත්වයක් යාල වනෝද්යානයට හිමි වේ. විවිධ වර්ණයේ කොකුන් සහ කලපු පක්ශීන් උද්යානයේ කලපු පුරා වසා සිටින ආකාරය දවසේ ඕනෑම අවස්ථාවක සුලබ දර්ශනයකි.
එලෙසම අවුව තපින කිඹුලන් කලපු අවට වැඩි වශයෙන් හමුවේ. වඳුරන් සහ රිලවුන් වියලු ගස් මතින් ඔබ මොබ ගමන් කිරීමත් සමග බිමට පතිත වන කහ සහ රතු පැහැ වියලි ශාක පත්ර අතරින් මොනරුන් ඔවුන්ගේ නිල් සහ කොළ පැහැ පිල් විදහමින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් කාගේත් සිත් ඇද තබා ගැනීමට සමත් වේ. පඳුරු සහ ලැහැබ් තුලින් විටින් විට මතුවන වන අලින් සහ එක වරම මං මාවත් හරහා පෙනී සිට නැවත වනයට ඇතුළු වී නොපෙනී යන කොටියන් උද්යානයට අලංකාරයක් ගෙන එනු ලබයි.
" ආන්න චාමර අයියා, නුවන් මල්ලි කැගසන්න වුයේ, අප දුර සිට ඊයක වේගයෙන් චාමර තනිව ගමන් කරනු දුටු බැවින්ය. චාමරද අප සමග අවසන් 500m පමණ ගමන් කර කටගමුව ගේට්ටුවෙන් එලියට එන්න විය. කටගමුව දොරටුව අසල විශාල හමුදා කදවුරක් සහ ඒ මැදින් සිතුල්පවුවට ගමන් ගන්නා මාර්ගයද වැටී තිබේ. ඒ අසලින් සෞඛ්ය දෙපාර්තමේන්තුවෙන් බැතිමතුන් සදහා පවත්වාගෙන යන මැලේරියාව පරීක්ෂනය කරන ජංගම වෛද්ය ඒකකයකි.
ආ විගසම අනෙක් අය සෙවීම පැත්තක තබා මම නුවන් මල්ලි එක්ක එළියේ තියන තැබිලි කඩේකින් හොද හැටි සප්පායම් වුයේ ලෝකේ අවසන් තැබිලි ගෙඩිය බොන අයුරින්. කඩය අසලද අපේ පරණ ගමන් සගයන් රැසක් මුණ ගැසුන අතරම, අනෙක් කාණ්ඩය යුද හමුදා දන්සල් පෝලිමට එකතුව ඇති අයුරු දක්නට වුයේය.
දන්සැලින් ඇති පදම් කෑමෙන් පසු විඩා හරිමින් සම්පුර්න නඩයම ගස් මුල වැතිර සිටියද, චාමර බර කල්පනාවක එහෙට මෙහෙට සක්මන් කරන්න විය. මොකද බන් වෙලා තින්නේ, අයෙක් අසන්න වුයේ බැරිම තැනය. " නැ මේ අපේ මාතලී තාම මාතරලු, දැන් තමා කතරගම බස් එකට ගොඩ වෙලා තියෙන්නේ. මට ඉහේ මලක් පිපෙන්න වුයේ, ඔහුට ඒමට අඩුම තව පැය 4ක් යන බැවින්ය. දනී පනී ගා යුධ හමුදා කදවුරෙන් ඇති පදම් නාගෙන, මායි නුවන් මල්ලිලා දෙන්නයි හැමෝටම සමු දී කතරගම දක්වා වූ අවසන් 10km පිටත් වන්න සුදානම් විය. මුන්ට පිස්සුද මන්ද වැන් එකේ යන්න පුළුවන්නේ අයෙක් කියන්න වුවද, දෙයියන්ගේ පිහිටෙන් උබලා ගමන සම්පුර්න කරපල්ලා යනුවෙන් ධම්මික අයියා සහ එරංග අයියා පැවසිය. සුදෙෂ්ට අපේ බැග් ටික භාරදී වතුර බෝතලක් සහ මගේ වතුර බැගය සමග ගමන් අරබන්න වුයේ දහවල් 1ට පමණය.
කටගමුව වැව අසල තරමක් සිරි නැරබු අප තිදෙනා ඉදිරියට ඇදෙන නඩ සමග මුසු විය. වනයේ ඇදුන 80km වැඩි දුරට වඩා මේ අවසන් කඩ ඉම අපහසු බව වැටහෙන්න අපට වැඩි කලක් ගත නොවිය. සිතුල් පව්ව මාර්ගය තාර දමා නොමැති නිසා වාහනවලින් අවිස්සෙන දුවිලි වලින් අපි වැසී ගියෙමු. හිරු රශ්මියෙන් සහ සතා සිව්පාවාට බියෙන් ගමන් ගත් දුරට වඩා මේ කිලෝමීටර 9 තුල, වාහනවලින් ඇවිස්සෙන දුවිලි නිසා පයින් යන බැතිමතුන් බොහෝ දුක් විදින බව අපට පෙනෙන්ට සහ දැනෙන්නට විය. කිලෝමීටර 9න් 6කටත් වඩා මෙම දුවිලි නිසා පාද යාත්‍රාවේ ද් යෙදෙන බැතිමතුන් මහත් විඩාවට පත්වෙයි.
ඒ බව වාහනවලින් යන කිසිම බැතිමතෙකුටවත් කිසිදු හැගීමක් නැත, වේගය ආඩාල කරන්නේ බොහොම කලාතුරකින්ය. අව් රශ්මි මැද ගමන් ගන්න මගීන්ට ඇතැම් වාහන වලින් ජලය ලබා දෙන්න වූ අතර වනය තුලට වඩා වැඩි වේගයෙන් ජලය අපගේද අවසන් විය. තාර පාරට වැටෙන තැනම අයිස්කිම් දන්සැලක් විය, දුන්නොත් එකට දහයක් කෑමට ඒ මොහොතේ හැකියාවක් තියෙන්න විය. දන්සැල අසල අප දෙස සිනා මුසු මුහුණින් බලන කුඩා පිරිමි ළමුන් කීපදෙනෙක් වූ අතර, අපේ අන්තිම වතුර ටික වනය තුලදී බෙදාහදා ගත්තේ ඔවුන් සමග බව මට සිහි විය.
කතරගම දේවාලයට ආසන්න වන විට අපේ හොද පණ ගිහින් තිබෙනි, දෙවොල් බිමට ඇතුල් වීමට පෙර නැවත නෑමට සිතුවත් මැණික් ගඟ අපවිත්රව ගලන අයුරු දුටු විට එම අදහස අත්හරින්න විය. නමුත් දහදියෙන් බරව දෙවොල් බිමට යාමට අකමැති වූ අප අවට විපරම් කරන විට නෑමට සකස් කර ඇති තැනක් ඇස ගැටී හොද හැටි නාගනිමින් දියකර හැරියේ. කිලෝමීටර 90ක පමණ දුෂ්කර ගමනක වේදනාවත්, විඩාවත් නොව කටගමුවේ සිට කිලෝමීටර 6කට වඩා වාහනවල දුවිලි නිසා අපව තෙහෙට්ටු කල, විඩා බර කල වේදනාව සමග ශිෂ්ටාචාරයේ දුවිලි තට්ටුවය.
අනෙක් කාණ්ඩය එනතුරු කිරිවෙහෙරේ රැදුන අප සියල්ලන්ම එකතුව එදා මැණික් ගඟ උතුරන විට තම බල මහිමයෙන් ගඟ දිය දෙබා කර යුධ ජයට ආශීර්වාද කල ස්කන්ධ කුමරුට තුති ලෙස දුටුගැමුණු රජුන් තැනු කතරගම පුදබිමට ගොස් දෙවියන්ගේ ආශීර්වාදය ගෙන නැවත ගම්බිම් බලා පිටත් වුයේ. ලංකාවේ සංස්කෘතිය හා බද්ධ වූ පාද යාත්‍රාව සාර්ථකව අවසන් කරමින්.
පසුව ලියමි : එදා ස්කන්ධ කුමරුන් වල්ලිට මෙන්, අරුණ් විසින් ප්‍රියාට දැක්වූ සෙනෙහසත් . අපේ නඩයේ එරංග ඉෂු ආදරණිය දෙපලත් විසින් වෙනදා ලියන කතා රටාවෙන් ඔබ්බට රැගෙන යාම ගැන අනෙක වාරයක් තුතී . ඒ වගේම හිතුවොත් අනිවා පට්ට කට්ටක් කාගෙන තනියම ඇදෙගන යන අපේ ආදරණිය නිප්පාට වගේම ගමනේ සම්පුර්ණ නඩේටම රොම්බ තැන්ක්ස් ....
සටහන : තනුර හෂාන්ත