15/08/2024
ශ්‍රී ලංකාවේ අං කටුස්සෝ
Horned lizards of sri lanka
කටුස්සන් කියන්නේ අපේ රටේ සියළු දෙනාම කුඩා කාලයේ ඉදන්ම නිතරම දකින හුගක් හුරුපුරුදු සතෙක්. ගමේ නගරයේ හැමතැනම වෙනසක් නැතුව කටුස්සන් දකින්න පුළුවන් නිසා කාටවත් කටුස්සො කියන්නෙ අරුම පුදුම සතුන් නෙවෙයි. ඒත් මේ නිතරම දකින කටුස්සන් විශේෂත්, අපේ රටට ආවේණික, දුර්ලභ කටුස්සන් විශේෂත් ඇතුළුව කටුස්සන් විශේෂ 22ක් පමණ රටේ විවිධ දේශගුණික කලාපවල, සුවිශේෂී පරිසර පද්ධති ආශ්‍රිතව ව්‍යාප්ත වෙලා ඉන්නව. අං කටුස්සන් (Horned lizard) කියන්නෙ මේ කටුසු විශේෂ සියල්ල අතරින් ඉතාමත්ම වැදගත් කොට්ඨාශයක්. මේ වැදගත්කම වැඩිකරන ප්‍රධානම සාධකය තමයි මේ අං කටුස්සන් අයත් Ceratophora කියන ගණය මුළු ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික වීම. සරලවම කිව්වොත් මේ ගණයේ හම්බවෙන අං කටුස්සන් වර්ග මුළු ලෝකයෙන්ම හම්බවෙන්නෙ ශ්‍රී ලංකාවේ විතරයි. මොවුන්ව අං කටුස්සන් කියල හදුන්වන්න හේතුව හොම්බ කෙළවර තියෙන Rostral appendage කියල හදුන්වන කොරළවලින් සමන්විත කොටසක් අනක් ආකාරයට ඉදිරියට නෙරා ඇවිත් තිබීම. අනක් සහිත කියන තේරුම ඇතුව තමයි මේ ගණය Ceratophora කියල නම් කරල තියෙන්නේ. මුලින්ම මේ ගණය යටතේ 1834දී විදුලොවට හදුන්වාදෙන්නෙ Ceratophora stoddartii (රයිනෝ අං කටුස්සා) විශේෂය. අවසන් වරට හදුන්වාදෙන්නේ 2020 වසරේදී Ceratophora ukuwelai (උකුවෙලගේ රළු අං කටුස්සා) විශේෂය. මොවුන්ට මේ ආකාරයට අඟක් පිහිටල තියෙන්නෙ ඇයි කියල නිශ්චිතවම පැහැදිලි කරන්න බැරිවුනත් ප්‍රජනන කාර්යයේදී ගැහැණු සතුන් ආකර්ශණය කරගැනීමේ උපක්‍රමයක් විදියට අඟක් පිහිටල තියෙනව කියල අනුමාන කරනව. ඒ වගෙම මේ අඟ හොදින්ම පිහිටන්නෙ පිරිමි සතුන්ගේ. ගැහැණු සතුන්ගේ බොහෝවිට ඉතා කුඩා අඟක් පිහිටලා තිබ්බත් සමහර විශේෂවල ගැහැණු සතුන්ගේ කුඩාවටවත් අඟක් දැකගත නොහැකියි. මේ ගණය යටතේ වර්තමානය වෙද්දි අං කටුස්සන් විශේෂ 06ක් අපේ රටේ හමුවෙනව. මේ විශේෂ 06ම හමුවෙන්නෙ ලංකාවේ තෙත් කලාපයේ එකිනෙකට වෙනස් සුවිශේෂී පරිසර කලාපයන් වන මධ්‍යම කදුකරය, නකල්ස් කදුවැටිය, රක්වාන කදුවැටිය හා පහතරට වැසි වනාන්තර කේන්ද්‍ර කරගෙන. කිසිම අං කටුස්සන් විශේෂයක් වියළි කලාපය තුළ ස්වාභාවිකව හමුවෙන්නෙ නෑ වගේම මේ කටුස්සන් විශේෂ 6ම ගෙවතු හෝ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව හමුනොවන තරම්. හොදින් සෙවණ සහිත වනාන්තරවල කොළ රොඩු අතරත්, වලාකුළු වනාන්තරවල පාසි බැදුණු ශාක කදන් හා අතුපතරත් මේ විශේෂ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. Ceratophora ගණයේ සියළු කටුස්සන්ගේ පොදු ලක්ෂණ කීපයක් පහතින් දක්වලා තියෙනව.
*සියළු විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික වේ.
*අඟ කැපී පෙනෙන ලෙස පිහිටන්නේ පිරිමි සතුන්ගේ වේ.
*පිරිමි සතුන් සෑමවිටම කැපී පෙනෙන වර්ණ දරන අතර ගැහැණු සතුන් අදුරු වර්ණයන් දරයි.
*සියළුම විශේෂ සාමන්‍ය කටුස්සන්ගේ ආකාරයට පොළවේ වළවල් හාරා බිත්තර දැමීම සිදුකරයි.
*දළඹුවන්, කුඩා කෘමි සතුන්, ගැඩවිල් පණුවන් ආදීය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා අතර ඇතැම්විට කුඩා උරගයින්ද ආහාරයට ගන්නා අවස්ථා ඇත.
*සියළු විශේෂ දිවා කාලයේ ක්‍රියාකාරී අතර රාත්‍රී කාලයේ නිදා සිටිනු නිරීක්ෂණය කළ හැකිය.
ශ්‍රී ලංකාවේ හමුවන සියළුම අං කටුස්සන් විශේෂ පිළිබදව වෙන වෙනම පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ.
1. රයිනෝ අං කටුස්සා/කගමුව අං කටුස්සා
EN: Rhino horned lizard
SN: Ceratophora stoddartii
ශ්‍රී ලංකාවේ අං කටුස්සන් අතරින් මුල් වරට විදුලොවට හදුන්වා දී ඇත්තේ මෙම විශේෂයයි. ඒ 1834 වසරේදී Gray විසිනි. Ceratophora stoddartii යන විද්‍යාත්මක නාමය ලැබීමට හේතුව බ්‍රිතාන්‍ය ජාතික හමුදා නිලධාරියෙකු වන Charles stodart හට ගරු කිරීම සදහාය. රයිනෝ අං කටුස්සා ලෙස හැදින්වීම සදහා හේතු වී ඇත්තෙ මොවුන්ගේ අඟ රයිනෝසිරස් (Rhinoceros) සත්වයෙක්ගේ අඟක ආකාරයට ඉතා උල් වී පිහිටීමයි. එසේම සිංහල භාශාව තුල කගවේනා (Unicorn) ලෙස හදුන්වන මිත්‍යා සත්වයාගේද මෙවැනි උල් අනක් පිහිටා ඇති නිසා කගවේන අං කටුස්සා/කගමුව අං කටුස්සා යන නම්ද මේ කටුස්සා හැදින්වීම සදහා භාවිතා වේ. පිරිමි සතාගේ මේ අඟ ඉතා පැහැදිලිව දැක ගත හැකි අතර ගැහැණු සතුන්ගේ අඟ තරමක් කුඩාවට නිරීක්ෂණය කිරීමට හැකිය. මෙම විශේෂයේ ව්‍යාප්ති කලාපය ලෙස හදුනාගත හැක්කේ මධ්‍යම කදුකරයේ මීටර් 1000ට වඩා ඉහළ උන්නතාංශයක් සහිත වලාකුළු වනාන්තරයි. හෝර්ටන්තැන්න හා ශ්‍රී පාදය ඉතා පහසුවෙන් මොවුන් දැකබලා ගැනීමට හැකි ස්ථාන වන අතර ඊට අමතරව නමුණුකුල, කිකිළියාමාන, පිදුරුතලාගල,
ග්‍රෙල්වේස්ලෑන්ඩ්, හක්ගල, ආගරපතන, නුවරඑළිය, ලූල්කදුර ආදී මධ්‍යම කදුකරයේ බොහෝ ස්ථානවල මොවුන් නිරීක්ෂණය කළ හැකිය.දිවා කාලයේ ගස් කදන් මත හා අතු අතර පොළවේ සිට 2m දක්වා උස් මට්ටමේ සැරිසරන මොවුන් රාත්‍රී කාලයේදී ගස්වල අතු හා කොළ මත නිදා සිටිනු දැකිය හැක. ඇතැම්විට ආහාර ගැනීම සදහා හෝ වෙනත් කටයුතු සදහා පොළව මතුපිට, ගල් මතද හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. කොළ, කළු, දුඹුරු, සුදු මිශ්‍රිත ඔවුන් ජීවත්වන පාසි සහිත ගස් කදන්වලටම සමාන ආකාරයේ වර්ණ රටා කිහිපයක්ම දරයි. වර්ගයා බෝ කිරීමේදි වරකට බිත්තර 4 - 5 අතර සංඛ්‍යාවක් බිහිකරන අතර රතු දත්ත වාර්තාවේ EN කාණ්ඩය යටතේ වර්තමානයේ වර්ගීකරණය කරනු ලැබේ.
2. පෙති අං කටුස්සා / දුම්බර අං කටුස්සා
EN: Leaf nosed lizard
SN: Ceratophora tennentii
1861 වර්ෂයේ Gunther විසින් Sir james emerson tennet මහතාව සිහිවීම පිණිස Ceratophora tennentii යනුවෙන් මෙම විශේෂය විදුලොවට විස්තර කර ඇත. අනෙකුත් අං කටුස්සන් විශේෂවලට සාපේක්ෂව තරමක් වෙනස් ශාක පත්‍රයක් ආකාරයට පැතලි වූ,කෙළවර තුඩක් සහිත අඟක් දැරීම නිසා පත්‍ර අං කටුස්සා/පෙති අං කටුස්සා ලෙස සිංහලෙනුත් Leaf nosed lizard ලෙස ඉංග්‍රීසි බසිනුත් හදුන්වනු ලැබේ. රයිනෝ අං කටුස්සන් ලෙසම දිවා කාලයේ ශාක කදන් හා අතු අතර ජීවත්වන මොවුන් රාත්‍රී කාලයේ ශාක පත්‍ර හා අතු අතර නිදා සිටිනු දැකිය හැක. මොවුන්ගේ ව්‍යාප්ති කලාපය ලෝක උරුම නකල්ස්/ දුම්බර කදු පංතියේ මීටර් 1000න් ඉහළ උන්නතාංශවල වලාකුළු වනාන්තරවලට පමණක් සීමා වේ. දුම්බර කදුවැටියේ පමණක් හමුවන නිසා දුම්බර අං කටුස්සා ලෙසද මෙම විශේෂය හදුන්වයි. මොවුන්ව ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් ලෙස Riverston කදු මුදුන හදුනා ගත හැකි අතර ඊට අමතරව කොටගග, තුන්හිස්ගල, බඹරැල්ල, ගොම්බානිය,
ඩීන්ස්ටන් ආදී නකල්ස් කදුවැටියේ ඉහළ උන්නතාංශ සහිත මුදුන් සියල්ලගේම පාහේ ව්‍යාප්ත වී සිටී. නකල්ස් කදුවැටියේ ව්‍යාප්තව පවතින එනසාල් වගාවන් තුළද මොවුන්ගේ ගහණයන් ඉතා හොදින් දැකගැනීමට හැකිය. මොවුන්ගේද ගැහැණු සතාගේ අඟ ඉතා කුඩා වන අතර තරමක් අදුරු වර්ණ රටා දරයි. පිරිමි සතුන් කොළ, නිල්, දුඹුරු වැනි විවිධ වර්ණ සහිත දීප්තිමත් වර්ණ රටාවන් දරයි. වරකට බිත්තර 4 - 5 අතර ප්‍රමාණයක් බිහිකරන මෙම විශේෂය රතු දත්ත වාර්තාවේ EN කාණ්ඩය යටතේ වර්ගීකරණය කරනු ලබයි.
3. රළු අං කටුස්සා
EN: Rough horned lizard
SN: Ceratophora aspera
1864 වසරේ Gunther විසින් මෙම විශේෂය විදු ලොවට හදුන්වා දී ඇත. Stodartii, Tennentii හා Erdeleni විශේෂ 3ම සාමන්‍යෙන් ශාක කදන් හා අතුපතර රුක්වාසීව හමු වූවත් මෙම විශේෂය ඊට හාත්පසින්ම වෙනස් වියළි කොළ රොඩු හා ශාක පත්‍ර (leaf letter) අතර ජීවත්වන 8 - 10Cm තරම් ඉතා කුඩා අං කටුස්සන් විශේෂයකි. මොවුන්ගේ අගෙහි ඇති ගැටිති සහිත රළු ගතිය නිසා රළු අං කටුස්සා ලෙස හදුන්වනු ලැබේ. අං කටුස්සන් විශේෂ අතරින් වැඩිම භූගෝලීය කලාපයක ව්‍යාප්ත වී ඇත්තේද මෙම විශේෂයයි.මුහුදු මට්ටමේ සිට මීටර් 200 - 700 අතර උන්නතාංශවල පිහිටි පහතරට වැසි වනාන්තර වන කන්නෙලිය, කොට්ටව, රූණකන්ද, දෙනියාය,
කිතුල්ගල, කුරුවිට, දෙල්ලව, සිංහරාජය ආදී ප්‍රදේශවල නිරීක්ෂණය කළ හැකිය. මොවුන්ගේ පිරිමි සතුන් කැපී පෙනෙන ආකාරයට වර්ධනය වූ අඟක් දරන අතර ගැහැණු සතුන්ගේ එවැනි අඟක් දක්නට නොමැත. මොවුන් ජීවත්වන පරිසරයටම අනුකූල ලෙස දුඹුරු හා කළු පැහැයෙන් යුත් වර්ණ දරමින් වේශාන්තරණය වී සිටීමත්, ප්‍රමාණයෙන් ඉතා කුඩා වීමත් නිසා මෙම විශේෂය ස්වාභාවික පරිසරය තුළ නිරීක්ෂණය තරමක් අපහසු වේ. එමෙන්ම රාත්‍රී කාලයේදී මොවුන් කුඩා පදුරු හා ශාකවල පත්‍ර මතට වී නිදාගන්නා ආකාරය දැකගත හැකි අතර ඇතැම්විට දිවා කාලයේද ශාක කදන් මත හැසිරෙනු දැකගත හැකිවේ. වරකට බිත්තර 2ක් පමණක් බිහිකරන මොවුන්ගේ ගහණය අතීතයේ හොදින් පැවති ස්ථානවල මේ වනවිට කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අයුරුද නිරීක්ෂණය කළ හැක. වර්තමාන රතු දත්ත වාර්තාවේ EN කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත.
4. අර්ඩෙලන්ගේ අං කටුස්සා
EN: Erdeleni's horned lizard
SN: Ceratophora erdeleni
ජර්මානු ජාතික සත්වවේදී Walter erdelen මහතා සිහිවීම පිණිස අර්ඩෙලන්ගේ අං කටුස්සා ලෙස නම්කර ඇති මෙම විශේෂය කැළුම් මනමේන්ද්‍ර - ආරච්චි හා රොහාන් පෙතියාගොඩ මහතුන් විසින් 1998 වසරේ සිංහරාජයේ Morningside වනාන්තරය තුලින් විදුලොවට හදුන්වා දී ඇත. පරිණාමිකව රයිනෝ අං කටුස්සාට ඉතා සමීප මෙම විශේෂය ශාක කදන් හා අතුපතර මත බහුලව නිරීක්ෂණය කළ හැකි අතර ඇතැම්විට පොළව මත, ගල් මත ද දැකිය හැකිය. Stoddartii විශේෂයට ශාරීරිකව ඉතා සමාන වූවත් මොවුන්ගේ අඟ ඉතා කුඩා ප්‍රමාණයේ අඟකි. පිරිමි සතුන්ගේ හොම්බ අග පිහිටි කුඩා ගැටිත්තක් ආකාරයට පමණක් මෙය දිස්වන අතර ගැහැණු සතුන්ගේ එලෙසද දක්නට නොමැති වේ. සිංහරාජයේ රක්වාන කදුවැටියේ මීටර් 1000න් ඉහළ උන්නතාංශවල ගොන්ගල, සූරියකන්ද, කුරුළුගල, බෝටියතැන්න, හදපාන් ඇල්ල, මෝනින්සයිඩ් වැනි සිමීත කලාපයක පමණක් මෙම විශේෂය ව්‍යාප්ත වී සිටි. කොළ, කළු, දුඹුරු වැනි වර්ණ රටා දරන මොවුන් වරකට බිත්තර 2 - 3 අතර සංඛ්‍යාවක් බිහිකරනු ලබයි. වර්තමානය වන විට වාසස්ථාන අහිමිවීම නිසා දැඩිලෙස වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති මෙම විශේෂය රතු දත්ත වාර්තාවේ CR කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත.
5. කරූගේ අං කටුස්සා
EN: Karunaratnei horned lizard
SN: Ceratophora karu
ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම හා සුවිශේෂීම අං කටුසු විශේෂය වන්නේ මේ කරූගේ අං කටුස්සාය. සත්ව විද්‍යාඥ P. B. කරුණාරත්න මහතා සිහිවීම පිණිස මේ නමින් නම්කර ඇති මෙම විශේෂය 1998 වසරේ කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි හා රොහාන් පෙතියාගොඩ මහතුන් විසින් සිංහරාජයේ Morningside වනාන්තරය ආශ්‍රයෙන් විදුලොවට හදුන්වා දෙන ලදී. උපරිමව වැඩුණු සතෙකු 8 cm තරම් ඉතා කුඩා ශරීරයක් දරන මොවුන් සම්පූර්ණයෙන්ම වියළි කොළරොඩු අතර තම ජීවිතය ගත කරන අතර කිසිම විටක ශාක කදන් මත හෝ අතුපතර මොවුන්ව නිරීක්ෂණය වී නොමැත. අනෙක් අං කටුස්සන් විශේෂ හා සැලකීමේදී මොවුන්ගේ කැපී පෙනෙන අඟක් නිරීක්ෂණය කළ නොහැක. එසේම පිරිමි සතුන්ගේ හිස වටා කිරීටයක ආකාරයට සැකසුණු අලංකාර නෙරීම් වලයක් දැකගත හැකි අතර ගැහැණු සතුන්ගේ එලෙස නෙරීම් හෝ අගක් නිරීක්ෂණය නොවේ. ශ්‍රී ලංකාවේ අං කටුස්සන් විශේෂ අතරින් දැක ගැනීමට අපහසුම හා අවමම ගහණයක් සහිත විශේෂය ලෙස සැලකෙන මොවුන් වාසස්ථාන විනාශය හා ගෝලීය උණුසුම වැඩිවීම යන කරුණු නිසා දැඩි ලෙස වද වී යාමේ තර්ජනයට ලක් වී ඇත. අතීතයේ රක්වාන කදුවැටියේ මීටර් 1000න් ඉහළ උන්නතාංශ සහිත ස්ථාන කිහිපයකම මොවුන් ව්‍යාප්ත වී සිටියත් වර්තමානය වනවිට එය ගොන්ගල, සූරියකන්ද ආශ්‍රිත කදු මුදුන්වල ස්ථාන කිහිපයකට පමණක් සීමා වී ඇති ආකාරයක් නිරීක්ෂණය වේ. ඉතා හොදින් කොළරොඩු අතර වේශාන්තරණය වීමට පහසු දුඹුරු හෝ කළු පැහැයට හුරු වර්ණ රටාවක් දරන මොවුන් වරකට බිත්තර 2 ක් පමණ බිහිකරයි. වර්තමානය වනවිට රතු දත්ත වාර්තාවේ CR කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇත. ඉක්මන් සංරක්ෂණ ක්‍රියාවලියක් තුලින් සංරක්ෂණය නොකළහොත් නුදුරු අනාගතයේදීම මේ විශේෂය වද වී යාමේ දැඩි අවදානමක් ඇත.
6. උකුවෙලගේ රළු අං කටුස්සා
EN: Ukuwela's rough horn lizard
SN: Ceratophora ukuwelai
ශ්‍රී ලංකාවෙන් අවසන් වරට විදු ලොවට විස්තර කරනු ලැබූ අං කටුසු විශේෂය වන්නේ උකුවෙලගේ රළු අං කටුස්සාය. රජරට විශ්ව විද්‍යාලයේ උරග හා උභයජීවි පරිණාමික විද්‍යාඥ කණිෂ්ක උකුවෙල මහතාට ගරු කිරීමක් වශයෙන් එතුමාගේ නමින් නම්කල මෙම අං කටුසු විශේෂය සමීර සුරන්ජන් කරුණාරත්න මහතා ප්‍රමුඛ පරීක්ෂකයන් කණ්ඩායම විසින් 2020 වසරේ හදුන්වා දෙන ලදී. දත්ත වාර්තා අනුව මෙම විශේෂය දැනට හමුවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සල්ගල වනාන්තරය ආශ්‍රිත සිමීත කොටසකය. මින් පෙර මෙම ගහණයද රළු අං කටුස්සා (Ceratophora aspera) විශේෂයම ලෙස සැලකූවත් පසුව පහතරට වැසි වනාන්තරවල ගහණය සහ මෙම ගහණය ජානමය වශයෙන් (ND2) 9.6% වෙනස් වීමත්, ඔවුන්ගේ කොරළ හා ශරීර හැඩයේ ඇති වෙනස්කම්ද සලකා නව විශේෂයක් ලෙස නම්කරන ලදී. මොවුන්ගේ හැසිරීම් රටාව හා ප්‍රජනනය ආදීයත් ශාරීරික ලක්ෂණත් රළු අං කටුස්සා විශේෂයටම සමාන වේ. රතු දත්ත වාර්තාවේ CR කාණ්ඩය යටතේ මෙම විශේෂය වර්ගීකරණය කරනු ලබයි.
ඉහත තොරතුරු අධ්‍යනය කරන ඕනෑම අයෙකුට පැහැදිලවන කාරණාවක් වන්නේ අං කටුස්සන් විශේෂ සියල්ලම එකිනෙකට වෙනස් සුවිශේෂී පරිසර පද්ධතිවලට සීමා වූ ජීවින් බවයි. කුමන හෝ හේතුවක් මත ඔවුන්ට එම පරිසර පද්ධතිය අහිමි වුවහොත් වෙනත් පරිසරයකට හැඩගැසීමේ හැකියාවක් නැති නිසා අනිවාර්යයෙන් වද වී යාම සිදු වේ. වර්තමානය වනවිට සිදුවන වනාන්තර විනාශය, වනාන්තර ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසස්ථාන විනාශ වීමත් ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ඔවුන්ට ප්‍රශස්ත පරිසර තත්වයන් අහිමි වීමත් නිසා අතීතයේ පැවති ගහණයන්ගේ පැහැදිලි අඩු වීමක් නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත. රටේ ජෛව විවිධත්වය විදහා පාන මෙවැනි වටිනා ජීවින් රැකගැනීම සදහා කඩිනම් සංරක්ෂණ ක්‍රියාවලීන් සැකසීම හා වනාන්තරයන් තුළදී හමුවන මොවුන්ට හෝ මොවුන්ගේ වාසභූමිවලට හානියක් නොවී ආරක්ෂා කිරීම අප සියළු දෙනා සතු වගකීමකි.
සටහන: ඩිලංග මධුෂාන්
📸: Photographs credit to Frank Deschandol, See Gomen & Gayan prasanga
#පරිසර_සමාගම